May 23, 2024

ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කෙරුණු පරිප්පු කන්ටේනර් පහක් එංගලන්තයේ පාතාල නායකයකුගේ මැදිහත්වීමෙන් පාතාල ක්‍රියාකාරින් පිරිසක් වෙනත් පාර්ශවයකට රුපියල් දෙකෝටි අසූ ලක්ෂයකට විකුණා ඇතැයි ආරංචි මාර්ගවලින් පැවැසේ.

පරිප්පු තොගයේ තක්සේරු වටිනාකම ලෙස සඳහන්වී ඇත්තේ රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂයකි.

මෙම ගනුදෙනුවෙන් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක පමණ ලාභයක් ලබාගෙන ඇති බවත් ලාභය ඇතැම් නිලධාරීන් අතරේ ද බෙදී ගොස් ඇති බවත් දැනගන්නට ඇත.

මෙම එක් කන්ටේනරයක පරිප්පු කිලෝ 23000ක් තිබී ඇතැයි පැවැසේ.

මෙයට අමතරව මෙම කණ්ඩායම රාජසන්තක කෙරුණු තලපත් බහාලුමක් ලබාගෙන කිලෝව 400 බැගින් විකුණා ඇතැයි ද වාර්තා වේ.

මීට පෙර ටයිල් කන්ටේනර් 15 ක් පාතාලේ මැදිහත්වීමෙන් මේ ආකාරයට විකිණීමට සූදානම් වීමේදී මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මැදිහත්වී එම කටයුත්ත වහාම නතර කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුව ද එය ව්‍යර්ථ විය.(ලංකාදීප)

42.31%
17.27%
32.76%