February 19, 2024

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝග යටතේ අත්අඩංගුවේ පසුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පානදුර කුඩු සලිඳුගේ මත්ද්‍රව්‍ය ජාලය ඩුබායි සිට මෙහෙයවන අසිත නමැත්තාගේ ඥාති සහෝදරියක වන ‘පැට්ටා අක්කා’ නමැත්තිය හොරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 10571ක්, ජාවාරමින් උපයාගත් රුපියල් 22 ලක්ෂ 47,450ක් සමඟ පානදුර මහවිල මාදුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි.

සැකකාරිය විකිණීම සඳහා මත්ද්‍රව්‍ය රැගෙන එන බවට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපතිවරයා වෙත ලද තොරතුරකට අනුව බුද්ධි නිලධාරීන් යොදවා අනාවරණය කරගත් තොරතුරු අනුව මෙම වැටළීම සිදුකර ඇත.

සැකකාරිය මහවිල මාදුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් කාන්තාවක ලවා සැකකාරිය පරීක්ෂා කිරීමේ දී රහස් ප්‍රදේශයේ සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය ප්‍රමාණය සොයාගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

වැටළීම් සඳහා පැමිණෙන පොලිස් නිලධාරීන්ට සපාකෑම සඳහා විශේෂයෙන් පුහුණු කරන ලද දරුණු ගණයේ සුනඛයන් සිව්දෙනෙකුද නිවසේ මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යෑම සඳහා ආරක්ෂාව වෙනුවෙන් ඇති බව පොලිසිය කියයි.

ඊට අමතරව පැමිණෙන පොලිස් නිලධාරින් දුර සිට නිරීක්ෂණය කිරීම සඳහා යොදවා තිබූ අතර වැටලීම සඳහා පැමිණෙන පොලිස් නිලධාරීන්ට ක්ෂණිකව නිවසට ඇතුළු වීම වැළැක්වීම සඳහා නිවස වටා පිහිටි තාප්පය හා සම්බන්ධකර යකඩ වැඩක් යොදා ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

මීට පෙර අවස්ථාවක දී අත්අඩංගුවට ගැනීමට පැමිණි සාජන් මේජර්වරයෙකු සපාකා තුවාල කිරීම සඳහා සම්බන්ධයෙන් මෙම කාන්තාවට එරෙහිව පානදුර අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පවතින අතර, සැකකාරියට එරෙහිව මත්කුඩු ළඟතබා ගැනීම සම්බන්ධයෙන් මහාධිකරණයේ නඩු දෙකක්ද විභාග වෙමින් පවතින බව පොලිසිය පවසයි.

කුඩු සලිඳුගේ මත්ද්‍රව්‍ය ජාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මෙම සැකකාරියගේ පියා ස්වාමිපුරුෂයා සහ වැඩිමල් සහෝදරයාද මේ වන විටත් පොලිස් අත්අඩංගුවේ පසුවෙන බව පැවසීය.

අත්අඩංගුවට ගත් 26 හැවිරිදි සැකකාරිය පානදුර පින්වත්ත පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කරන රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතය.(දිනමිණ)

42.31%
17.27%
32.76%