June 23, 2024

නවවැනි ICC පිරිමි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේදීම ඉවත්ව ගිය අශෝභන ආකාරය හේතුවෙන් උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට තරුණ ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළු කරන ලෙසට විවිධ පාර්ශ්වවලින් බලපෑම් එල්ල වෙමින් තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර, දසුන් ශානක, මහේෂ් තීක්ෂණ ඇතුළු ප්‍රවීණයන් කණ්ඩායමින් ඉවත් කරන ලෙසට නිර්දේශ ඉදිරිපත්ව ඇතැයි පැවැසේ.

ශ්‍රී ලංකාවේ මීළඟ තරගාවලිය ඉන්දියාව සමග වන අතර, ඒ වෙනුවෙන් ඉන්දියාව මෙරටට ඔවුන්ගේ දෙවැනි පෙළ කණ්ඩායමක් එවනු ඇතැයි ඉඟි පළව ඇත.

ඒ අනුව, එම සංචාරයේදී නවක ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදී ශ්‍රී ලංකාවට සිය කණ්ඩායම ශක්තිමත් කරගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් පිරිසක් පෙන්වාදී ඇතැයි වාර්තා සඳහන් කරයි.

මෙම තත්වය මත, ඉන්දීය සංචාරයෙන් පසු ශ්‍රී ලංකාවේ මීළඟ සංචාරය වන එංගලන්තයේ ගිම්හාන ටෙස්ට් තරඟාවලිය සඳහා කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර වැනි ප්‍රවීණයන් සමඟ නවකයන් වන නිශාන් පීරිස් සහ ප්‍රභාත් ජයසූරිය ද සහභාගී වීමට ඉඩ ඇති බව පැවැසේ.

මේ වන විට තේරීම් කමිටුව ක්‍රීඩක කළමනාකරුවන් කිහිපදෙනකුගේ මෙහෙයවීම මත කටයුතු කරන බවට චෝදනා එල්ලවී ඇත.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා පසුගියදා කොළඹ පැවති උත්සවයකදී ජනමාධ්‍ය අමතමින් කියාසිටියේ, අසාර්ථකත්වය කණ්ඩායම් කළමනාකාරිත්වය සහ ක්‍රීඩකයන් විසින්ම අත්පත් කරගන්නා ලද දෙයක් බවයි.