December 15, 2023

ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබාදී තිබූ නියෝගයක් පාර්ලිමේන්තුවේදී අපහාසයට ලක්කළ බව පවසමින් හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩු කටයුත්තකට ශ්‍රී ලංකා නීතිඥ සංගමය මැදිහත්වීම හෙළාදකින බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමය ලිපියක් මඟින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත දැනුම් දී තිබේ.

මෙවැනි ක්‍රියා තුළින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කෙරෙහි පවතින මහජන ප්‍රසාදය හීනවීම පමණක් නොව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්වාධීනත්වය හා අරමුණු උල්ලංඝනය කරන බවද එම සංගමය සිය ලිපිය මඟින් පෙන්වාදී ඇත.

පසුගියදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීතිඥ සංගමයේ පැවැති විශේෂ සභා වාරයකදී එම මැදිහත්වීම පිළිබඳව සාකච්ඡාවට ගැනුණු බවද, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මෙම මැදිහත්වීම සමස්ත නීතිඥ ප්‍රජාවගේම මතය එය බවට මහජනතාව තුළ ඒත්තු ගැන්වීමක් සිදුවිය හැකි බවද එම සංගමය පෙන්වාදෙයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මෙකී ක්‍රියා කලාපයෙන් ශ්‍රී ලංකා නීතිඥ ප්‍රජාවගේ සමාජ වගකීම පිළිබඳව ජනතාව තුළ පවතින ප්‍රසාදය පළුදු විය හැකි බැවින්, එම මැදිහත්වීම හෙළාදකින බවට තම සංගමය යෝජනාවක් මඟින් සම්මත කරගත් බවද එම ලිපිය මඟින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.(මව්බිම)

42.31%
17.27%
32.76%