March 30, 2024

ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජී.පී. නිශ්ශංක සහ බිමල් රුහුණගේ යන ජනමාධ්‍යවේදීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වහාම අත්හැරිය යුතු බව එක්සත් ජනපදය පදනම් කරගත් ජනමාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව (CPJ) පවසයි.

එමෙන්ම පළිගැනීම්වලින් සහ බියෙන් තොරව වාර්තා කිරීම සඳහා ඔවුන්ට අවසර ලබා දිය යුතු බව ද එම කමිටුව පෙන්වාදෙයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනමාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව ඊයේ පැවසුවේ ඉකුත් මාර්තු 5 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රාවණා ලංකා නිවුස් ප්‍රවෘත්ති වෙබ් අඩවියේ හිමිකරු සහ කර්තෘ වන ජී.පී. නිශ්ශංක, පල්ලෙබැද්ද ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අත් අඩංගුවට ගනු ලැබූ බවයි.

ජී. පී. නිශ්ශංක වෙනුවෙන් පෙනී සිටින නීතීඥ අමිල එගොඩමහවත්ත පවසා ඇත්තේ, සිය සේවාදායකයාව මාර්තු 20 වැනිදා ඇප මත මුදාහරින තුරු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බවයි.

එමෙන්ම ඔහුව අත්අඩංගුවට ගැනීමේදී පොලිස් භාරයට ගැනුණු ජංගම දුරකථනය සිකුරාදා වන විටත් පොලිස් භාරයේ පවතින බව ද නීතීඥ අමිල එගොඩමහවත්ත අනාවරණ කර තිබේ.

මාධ්‍යවේදී ජි. පී. නිශ්ශංක අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාපති විකුම් ලියනගේ විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

ඒ, රාවණා ලංකා නිවුස් ඔස්සේ ඔහුට එරෙහිව දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ චෝදනා කරමින් ලිපියක් පළකිරීමෙන් පසුවයි.

නිදහස් මාධ්‍යවේදී බිමල් රුහුණගේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් 06 වනදායි.

ඒ කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී බව බවත් බිමල් රුහුණගේ වෙනුවෙන් පෙනීසිටින නීතීඥ කීර්ති දුනුසිංහ පවසයි.

බිමල් රුහුණගේට අයත් ජංගම දුරකථනය සහ මුදල් පසුම්බිය ද පොලිසිය භාරයට ගෙන ඇති නමුත් ඒවා එදිනම ඔහුගේ බිරිඳට ආපසු භාර දී ඇත.

ජනමාධ්‍යවේදී බිමල් රුහුණගේ පැවසුවේ ඊට දින හතරකට පෙර තමා සිය ජනමාධ්‍යවේදී හැඳුනුම්පත ද රැගෙන, සිය දරුවා හදාවඩා ගැනීමට කැමති පුද්ගලයකු සොයා බස් නැවතුම්පොළක සිටි මවක සමඟ සම්මුඛ සාකච්ඡාවකට සූදානම් වී සිටි බවයි.

කෙසේවෙතත් එම අවස්ථාවේදී පොලිස් නිලධාරියකු තමන්ව වැළැක්වූ බවත්, එම නිලධාරියා අදාළ කාන්තාව සහ දරුවා ත්‍රිරෝද රථයකින් පොලිස් ස්ථානයකට රැගෙන ගිය බවත් ඔහු පවසයි.

බිමල් රුහුණගේ විසින් එම සිදුවීම අඛණ්ඩව රූගත කර ඇති අතර එම දර්ශන එක්සත් ජනපදය පදනම් කරගත් ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන Boston Lanka විසින් ප්‍රකාශයට පත්කර ඇතැයි සඳහන්.

කෙසේවෙතත් අත්අඩංගුවට ගැනුණු මාධ්‍යවේදී බිමල් රුහුණගේ ඉකුත් 11 වනදා ඇප මත මුදාහැර ඇති අතර යළි මැයි 13 වනදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කර තිබේ.