October 22, 2023

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛණිජ තෙල් තොග පර්යන්ත සමාගම විසින් මෙරට අතිරේක ඉන්ධන තොගය ඉහළ දැමීම සඳහා පාවෙන ගබඩා ඒකකයක් ස්ථාපනය කිරීමට පවතින හැකියාව ගවේෂණය කරමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ බොරතෙල් සංචිත වැඩිදියුණු කිරීම අරමුණු කරගත් මධ්‍ය කාලීන විසඳුමක් ලෙස බොරතෙල් සඳහා පාවෙන ගබඩා ඒකකයක් සම්බන්ධයෙන් ගිවිසුම්ගත වීමේ හැකියාව රජය සතු සමාගම් විසින් සළකා බලමින් සිටින බව මෙම ආයතනවල ඉහළ මූලාශ්‍රයක් උපුටා දක්වමින් The Sunday Morning වාර්තා කර ඇත.

පැරණි සහ නවීකරණයට අවශ්‍ය වන සපුගස්කන්ද පිරිපහදුව අක්‍රියව පවතින කාලය මගහරවා ගැනීමද මෙම සැලැස්මට ඇතුළත් වේ.

සපුගස්කන්ද පිරිපහදුව භාවිත කරමින් දැනට ශ්‍රී ලංකාව සිය ඛනිජ තෙල් අවශ්‍යතාවයෙන් 20-25%ක් පමණක් රට තුළ නිෂ්පාදනය කරයි.

පසුගිය වසරේ ශ්‍රී ලංකාව, ආර්ථික අර්බුදයේ උච්ඡතම අවස්ථාවේදී බොරතෙල් ලබාගැනීමේ දී මුහුණ දුන් මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් පිරිපහදුව මාස ගණනාවක් වසාදමා තිබිණි.

සපුගස්කන්ද අඛණ්ඩව වසාදැමීමට ගත් තීරණය ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ආනයන විශාල ලෙස ඉහළ නැංවීමට හේතු වූ අතර, රට මුහුණ දුන් විදේශ විනිමය හිඟය සමඟ එය දරාගත නොහැකි විය.

දැනට දින 27කට පමණ ප්‍රමාණවත් ගබඩා ධාරිතාවක් ශ්‍රී ලංකාව තුළ වැඩිදියුණු කිරීම සඳහා ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක වන අතර, මූල්‍ය බාධාවන් සහ ආයෝජන ප්‍රාග්ධනය නොමැතිකම හේතුවෙන් ඒවා නිමකිරීම මන්දගාමී වී ඇති බව දැනගන්නට ඇත.

42.31%
17.27%
32.76%