December 17, 2024

යාපනයේ පවතින වායු ගුණාත්මකභාවය පිළිබඳ මාසයක් පුරා අඛණ්ඩව පරීක්ෂා කර එහි අහිතකර කාරක තිබේදැයි අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් අද මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර තිබේ.

ඒ අනුව යාපනය ප්‍රදේශයේ වායුවේ අහිතකර කාරක අන්තර්ගත වන බවට තොරතුරු අනාවරණ වන්නේ නම් ජනතාව දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට ඇති හැකියාව සොයා බලා අධිකරණයට දැනුම් දෙන ලෙස ද පරිසර ඇමැතිවරයා ඇතුළු පිරිසකට අධිකරණය නියෝග කරන ලදී.

යාපනය ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය උමාසුකී නඩරාජා ඉදිරිපත් කර ඇති පෙත්සම අද සළකා බැලීමෙන් පසු අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය.

වගකිවයුතු රාජ්‍ය ආයතන විසින් මේ දක්වා වායු ගුණාත්මකභාවය ගැන විධිමත් පරීක්ෂණයක් සිදු කර නොමැති බවත් යාපනය ප්‍රදේශයේ පරිසරයට බැහැර කරන අපද්‍රව්‍ය සහ ඉන්දියාව වැනි අසල්වාසී රටවලින් ඇදී එන අහිතකර කාරක හේතුවෙන් එම ප්‍රදේශයේ වායු දූෂණයක් ඇතිවී තිබෙන බවත් පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් විභාගය මාර්තු මස 6 වැනි දා පැවැත්වීමට දින නියම කළේය.

42.31%
17.27%
32.76%