June 25, 2024

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා කඳාන ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන එම මුදල ලබානොදී විශ්වාසය කඩ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලේඛක සහ දේශක උපුල් ශාන්ත සන්නස්ගලට එරෙහිව කඳාන පොලිසිය කෙටුම්පත් කළ චෝදනා ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන චෝදනාවන්ගෙන් සන්නස්ගල මුදාහැරීමට ඊයේ (24) නියම කළේය.

තමාගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 10ක මුදල උපුල් ශාන්ත සන්නස්ගල ගෙවා අවසන් කළ බවත් නඩුවක් ගෙන යෑමට තමන්ට අවශ්‍යතාවයක් නැති බවත් පැමිණිලිකරු කළ දැනුම්දීමක් සැළකිල්ලට ගනිමින් එලෙස නියම කළ මහෙස්ත්‍රාත්වරයා, වරදක් සංස්ථාපනය නොවන අවස්ථාවකදී පුද්ගලයන්ට එරෙහිව චෝදනා කෙටුම්පත් කරන්නේ කෙසේදැයි කඳාන පොලිසියෙන් ප්‍රශ්න කළේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී උපුල් ශාන්ත සන්නස්ගල අධිකරණයේ පෙනීසිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි කඳාන පොලිසියේ නිලධාරීහු පසුව ලබාදෙන බව පවසා ගත් රුපියල් ලක්‍ෂ 10ක මුදලක් ආපසු ලබානොදී වංචා කිරීම, විශ්වාෂය කඩකිරීම සහ එම මුදල සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම යටතේ කෙටුම්පත් කළ චෝදනා පත්‍රයක් අධිකරණයට ඉදිරිපත් කළහ.

විත්තිකරුට එරෙහි චෝදනා පත්‍රය කියවාදෙන ලෙස කඳාන පොලිසියේ නිලධාරීහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

උපුල් ශාන්ත සන්නස්ගල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න ඒ අවස්ථාවේදී කරුණු දක්වමින්, මෙම සිද්ධියට පාදක මුදල් තම සේවාදායකයා විසින් ‘මාර්ගගත ක්‍රමය’ ඔස්සේ පැමිණිලිකරුට ගෙවා ඇතැයි කියමින් එලෙස ගෙවු රිසිට් පත් අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම සිද්ධියේ පැමිණිලිකරු මේ අවස්ථාවේ අධිකරණයේ පෙනීසිටින බව පැවසු ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න අවශ්‍ය නම් “මෙම මුදල් ලැබුණාද?” කියා ඔහුගෙන් සැකහැර දැනගැනීමට හැකියාව ඇතැයිද කීය.

ඒ අවස්ථාවේදී සිද්ධියේ පැමිණිලිකරු වන ගනේමුල්ල පොල්පිතිමුකලාන ප්‍රදේශයේ පදිංචි නුවන් ප්‍රදීප් ගල්වලආරච්චි නමැත්තා අධිකරණය හමුවට කැඳවූ මහෙස්ත්‍රාත්වරයා නඩුවට පාදක වු “මුදල් සැකකරු විසින් තමන්ට ගෙව්වාද?” යනුවෙන් ප්‍රශ්න කළේය.

එම ප්‍රශ්නයට “ඔව්” යනුවෙන් පිළිතුරු දුන් සිද්ධියේ පැමිණිලිකාර නුවන් ප්‍රදීප් ගල්වලආරච්චි නමැත්තා නඩු කීමට තමන්ට අවශ්‍යතාවයක් නැති බවත්, පොලිසිය දැනුම් නොදීම නිසා පසුගිය දිනයේ අධිකරණයට පැමිණීමට තමන්ට නොහැකි වු බවත් කීය.

මෙම නඩුව අවසන් කර දෙන්නැයි ගල්වලආරච්චි නමැත්තා අධිකරණයෙන් ඉල්ලමක්ද කළේය.(ලංකාදීප)

42.31%
17.27%
32.76%