42.31%
17.27%
32.76%
September 15, 2023

රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේට පුරවැසි සහතිකයක් නිකුත් කර නොමැති බව අභියාචනාධිකරණයට ඊයේ දැනුම් දෙනු ලැබීය.

ඩයනා ගමගේගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කළ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ හෆීල් ෆාරිස් කියා සිටියේ, තමන් බ්‍රිතාන්‍ය පුරවැසියකු බව රහස් පොලිසියට කළ ප්‍රකාශයේදී ඩයනා ගමගේ විසින්ම පිළිගෙන ඇති බවයි.

ඩයනා ගමගේට තම දෙපාර්තමේන්තුව පුරවැසි සහතිකයක් නිකුත් කර නොමැති බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා සිය දිවුරුම් ප්‍රකාශයේ පිළිගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

2022 ඔක්තෝම්බර් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ ප්‍රකාශයේ දී ඩයනා ගමගේ කියා සිටියේ, ඇය ඇත්ත වශයෙන්ම තම මවගෙන් පැවත එන බ්‍රිතාන්‍ය පුරවැසියකු බවත්, 2014 දී ඇය සිය පුරවැසිභාවය අත්හැර දැමූ බවත්ය.

ෆාරිස් තර්ක කළේ ඩයනා ගමගේ වෙනත් රටක පුරවැසිභාවය ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාදිය හැකි එකම ක්‍රමය සහතිකයක් නිකුත් කිරීම පමණක් බවයි.

ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු, මෙම පෙත්සම 1990 අභියාචනාධිකරණ රීති 3(1)(අ)ට අනුකූල නොවන බැවින් එය නිෂ්ප්‍රභ කරන ලෙස අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඔහු කියාසිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති ප්‍රකාශය සාක්ෂි ආඥා පනතට අනුව පිළිගත නොහැකි බවයි.

ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බව නීතීඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු වැඩිදුරටත් කියාසිටියේ, මැතිවරණ කොමිෂන් සභාව විසින් ඇය මන්ත්‍රීවරියක් බවට නීත්‍යානුකූලව පත් කිරීම තහවුරු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව පෙන්වාදෙමිනි.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆාමන් කාසිම් අධිකරණයට දන්වා සිටියේ, බලධාරීන් ඩයනා ගමගේට ශ්‍රී ලංකා පුරවැසි සහතිකයක් නිකුත් කර නොමැති බවත්, ඒ බව ආගමන විගමන පාලක ජනරාල්වරයා දිවුරුම් ප්‍රකාශයක් මගින් පිළිගෙන ඇති බවත්ය.

මේ අතර, රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාසිටින බැවින් ඇය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට ප‍්‍රකාශ කරන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම අභියාචනාධිකරණයේ තීන්දුව සඳහා කල්තැබිණි.

අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල (සභාපති) නිශ්ශංක බන්දුල කරුණාරත්න, කේ.කේ.ඒ.වී. ස්වර්ණාධිපති සහ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් ප්‍රකාශ කළේ, මෙම පෙත්සම පිළිබඳ තීන්දුව ඔක්තෝබර් 18 වැනිදා ප්‍රකාශයට පත් කරන බවත්, ඔක්තෝබර් 04 වැනිදාට පෙර ලිඛිත දේශන ගොනුකරන ලෙස පාර්ශවයන්ට නියම කළ බවත්ය.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මෙම පෙත්සම ගොනුකළේ, ඩයනා ගමගේ මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුස්සකු බවත්, එම නිසා මන්ත්‍රී ධුරයක් දැරීමට ඇයට අයිතියක් නොමැති බවත් ප්‍රකාශ කරන ක්වෝ වරෙන්ටෝ රීට් ආඥාවක් වැනි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනි.

මෙම නඩුවේදී පෙත්සම්කරු කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවත් බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් දැරිය හැක්කේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකුට පමණක් බවත්ය.

පෙත්සම්කරු කියා සිටියේ වෙනත් රටක පුරවැසිභාවය ලැබීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේට ශ්‍රී ලාංකීය පුරවැසිභාවය අහිමි වී ඇති බවයි.

ඩයනා ගමගේ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හෝ වෙනත් කිසිදු ආකාරයක පුරවැසිභාවයක් ලබාගෙන නොමැති බවද පෙත්සම්කරු පැවසීය.

42.31%
17.27%
32.76%