November 20, 2023

“සොරකම් කරන ලද වත්කම්” යළි සොයාගෙන ඒවා නැවත ජනතාව අතර බෙදා හැරීමට ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය පිළිබඳ මෑත කාලීන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව රජය විසින් භාවිතා කළ යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

ජනමාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඇය කියා සිටියේ ශ්‍රී ලංකාව “බංකොලොත් ” කිරීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දුර්ලභ හා සුවිශේෂී එකක් බවයි.

“මට ඇති එකම ප්‍රශ්නය නම් එයට සම්බන්ධ තවත් බොහෝ අයගේ නම් සඳහන් කර නොමැති වීමයි, එහෙත් මෙය මේ රටේ ඉතාම දුර්ලභ තීන්දුවක්, එය විශිෂ්ට එකක්,” ඇය පැවසුවාය.

තීන්දුවේ නම් කර ඇති පාර්ශ්වයන්ට ශ්‍රේෂ්ඨාධිකරණය දඬුවම් නියම කර නොමැති බව සඳහන් කළ චන්ද්‍රිකා කුමාරතුංග, පෙත්සම්කරුවන් විත්තිකරුවන්ට දඩුවමක් ඉල්ලා නොමැති බව ද පැවසීය.

“කෙසේවෙතත් පුරවැසියන්ට උසාවියට ගොස් දඬුවම් හා වන්දි ඉල්ලා සිටිය හැක,” බවත් ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස කුසගින්නේ සිටීමට සිදු වූ මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ට සහනයක් ලබා ගැනීමට මෙම අවස්ථාව භාවිතා කළ හැකි බවත් ඇය පැවසුවාය.

හිටපු ජනාධිපතිනිය වැඩිදුරටත් කියා සිටියේ විදේශ බැංකු ගිණුම්වල සහ අක්වෙරළ සමාගම්වල හෝ ශ්‍රී ලංකාවේ හෝටල්වල සහ නිවාසවල ආයෝජනය කර ඇති බව කියන මුදල් ද අධිකරණ තීන්දුව භාවිත කරමින් පොලිස් විමර්ශනයක් මඟින් සොයා ගත හැකි බවයි.

“රජයට මෙම වත්කම් අයිති කර ගැනීමට, ඒවා මුදල් බවට පරිවර්තනය කර භාණ්ඩාගාරයට අවශෝෂණය කිරීමට හෝ ජනතාව අතර නැවත බෙදා හැරීමට හැකියැයි,” ඇය පැවසුවාය.

“මේක අලුත් දෙයක් නෙවෙයි. ලෝක බැංකුව සතුව සොරකම් කළ වත්කම් ඒකකයක් ඇති අතර එවැනි දේ සොයා ගැනීමට යාන්ත්‍රණයක් ඇත. ඔවුන්ගේ සහය අපට ලබාගත හැකියි. පිලිපීනයේ වත්කම් බොහෝ දුරට අයකරගෙන නැවත ඔවුන්ගේ රටට ගෙන ආවා,” යැයි ද හිටපු ජනාධිපතිනිය සදහන් කළාය.

“මෙය කළ හැකියි. මේ පිළිබඳව වහා පියවර ගන්නා ලෙස මම රජයෙන් ඉල්ලා සිටිනවා.” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

42.31%
17.27%
32.76%