January 8, 2024

විදේශගත ශ්‍රමිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සේවාවන් සැපයීම සදහා දෙමළ මාධ්‍යයෙන් කටයුතු කළ හැකි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක් නුවරඑළියේ විවෘත කර තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ පසුගිය 18 වැනිදාට යෙදී තිබුණු අන්තර්ජාතික සංක්‍රමණික දිනයේ දී විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන් මනුෂ නානායක්කාර ඇමැතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව 2024 වසර ආරම්භ කර දින 7ක් ඇතුළත මෙම කාර්යාලය විවෘත කෙරුණු බවයි.

සිය ඉල්ලීම් ඉටු කිරීම සම්බන්ධයෙන් විදේශගත ශ්‍රමික පවුල්වල දරුවන් නාට්‍යයක් රඟ දක්වා කම්කරු හා විදේශ රැකියා ඇමැතිවරයාට සිය කෘතඥතාව පළ කළේය.

නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය විවෘත කළ ඇමැතිවරයා එම කාර්යාලයේ ලියාපදිංචිය ලැබ පළමුව විදේශගත වන ශ්‍රමිකයා සඳහා කාර්යාංශයේ ලියාපදිංචිය ද එම අවස්ථාවේදීම ලබාදුන්නේය.

ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේ නුවරඑළියේ ඊළග පරම්පරාවට වැඩ කළ යුතු වන්නේ ඡන්ද බලාගෙන නොවන අතර ඔවුන්ගේ සැබෑ අවශ්‍යතාවන් ඉටු කිරීම සඳහා බවයි.

තමන් දරුවන්ට දුන් පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු කිරීම සඳහා කැපවී කටයුතු කළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන්ට ද ඇමැතිවරයා සිය ස්තුතිය පුද කළේය.

ඔවුන්ගේ තවත් ඉල්ලීමක් වන ඡන්ද අයිතිය ලබාදීම සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කිරීමට හැකියාව ලැබෙනු ඇති බවට ද ඔහු විශ්වාසය පළ කළේය.

දේශපාලඥයන් ගැනීමට අකමැති, ජනප්‍රිය නොවන තීන්දු වන බදු වැඩි කිරීම්, වැටුප් කප්පාදු කිරීම් කරමින් දැවැන්ත වෙනසක් මේ වන විට ඉටු කරමින් යන්නේ දරුවන්ගේ අනාගතය ගැන සිතමින් බවද ඔහු පැවසුවේය.

අනාගතය දකින නායකයාගේ අඩි පාරේ යමින් තමන්ද නුවරඑළියට පැමිණ තීන්දු තීරණ ගත් බවද ඇමැතිවරයා කීවේය.

ඩොලර් මිලියන 500ක පංගුකාරයෙක් වන ලෙසට විදේශගත ශ්‍රමිකයන්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් නීත්‍යනුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවීමට බොහෝදෙනා කටයුතු කර ඇති බවද, පසුගිය වසරේදී රටට ගෙනා ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 6කට ආසන්න වන බවද ඇමැතිවරයා කීවේය.

ඩොලර් බිලියන 6 සීමාව පසු කර යෑමට අවශ්‍ය වන්නේ තවත් ඩොලර් මිලියන 30ක් පමණක් බවද, එම ඩොලර් මිලියන 30 ගෙන්වා ගැනීමට නොහැකිවූයේ මුදල් අමාත්‍යංශයේ ප්‍රතිපත්ති හදන නිලධාරීන් නිසා බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරිමට සමගාමීව විගමනික ශ්‍රමිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම සහ විගමණික ශ්‍රමිකයන් ව්‍යවසායකයන් බවට පත් කිරීම සඳහා සහාය ලබාදීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක විය.

42.31%
17.27%
32.76%