August 11, 2023

සිවිල් ආරක්ෂක බළකාය මේ වන විට ක්ෂයවීමේ හමුදාවක් ලෙස නම් කර ඇති බව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අනාවරණය විය.

එසේම වසර තුනහමාරකින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට කිසිදු බඳවාගැනීම් සිදු කර නැති බවද හෙළිකර ඇත.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 2019/2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය විය.

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ වසර තුනහමාරකින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවාගැනීම් සිදු කර නැති බවත් සිවිල් ආරක්ෂක බලකාය ක්ෂයවීමේ හමුදාවක් ලෙස මේ වන විට නම් කොට ඇති බවත්ය.

එසේම සිවිල් ආරක්ෂක බලකාය සතුව මේ වන විට 33687 ක් සේවය කරන බවද, පැමිණ සිටි නිලධාරීහු පෙන්වා දුන් අතර එම පිරිස අනුයුක්ත කොට ඇති ස්ථාන සහ සේවාවන් පිළිබඳවද සඳහන් කළහ.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සම්බන්ධව රාජ්‍ය ප්‍රතිපත්යට ගැලපෙන ලෙස ඉදිරි කටයුතු කිරීම පිළිබඳව නීතිමය රාමුවක් සැකසීම සම්බන්ධයෙන් සැප්තැම්බර් 11 දිනට පෙර දින වකවානු සහිත වාර්තාවක් කෝපා කමිටුවට ලබාදෙන ලෙස මෙහිදී කමිටුවේ සභාපති ලසන්ත අලගියවන්න නිර්දේශ කර ඇත.