June 5, 2024

මුල්ලේරියාව ප්‍රදේශයේ හෝටලයක හිමිකරුට අයත් රුපියල් කෝටියකට ආසන්න රන් භාණ්ඩ සොරාගත් ප්‍රධාන සූපවේදියා ඇතුළු දෙදෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකරුවන් සොරාගෙන තිබූ රන් භාණ්ඩවලින් කොටසක් වන ග්‍රෑම් 233ක උණු කරන ලද රත්තරන් තොගයක් සහ රුපියල් 2,055,000ක මුදලක් ද පොලිසිය මගින් සොයාගෙන තිබේ.

හෝටලේ හිමිකරු ඔහුට සහ සිය බිරියට අයත් රන් භාණ්ඩ වැඩි පරිස්සමට හෝටලයේ ඔහුට අයත් කාමරය තුළ තබා ඉකුත් අප්‍රේල් 13 වැනි දින නුවරඑළියේ සංචාරයකට ගොස් මැයි 3 වැනි දින යළි පැමිණ කාමරය විවෘත කර පරීක්ෂා කිරීමේදී රන් භාණ්ඩ තොගය අස්ථානගත වී ඇති බවට දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව මුල්ලේරියාව පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි.

ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ මුල්ලේරියාව පොලිසිය එම හෝටලේ සුපවේදියකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, රන් භාණ්ඩ සොයාගැනීමට නොහැකි විය.

බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය වෙත ලද තොරතුරක් මත ප්‍රධාන සූපවේදියා ද අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී, හිමිකරුගේ කාමරය වෙනත් යතුරක් යොදාගෙන විවෘත කර සොරාගත් රන් භාණ්ඩ තොගය අත්අඩංගුවට ගත් සූපවේදියා බුලත්සිංහල, කිරිබත්ගොඩ, මාලබේ හා කොස්වත්ත ප්‍රදේශවල රන් භාණ්ඩ උකසට හා මිලදී ගන්නා වෙළෙඳසල්වලට විකුණා තිබියදී පොලිසිය මගින් සොයා ගැනිණි.

ඉතිරි රන් භාණ්ඩ තොගය ද සැකකරුගේ ප්‍රකාශ මත සොයාගැනීමට පරීක්ෂණ පවත්වයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කැලණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 හා 34 පසුවන්නන්ය.(දිනමිණ)

42.31%
17.27%
32.76%