September 12, 2024

ඌව පළාත් හිටපු ආණ්ඩුකාර මොහොමඩ් මුසම්මිල්ගේ පුත්‍රයා වන හාඩ් ජමන් කාන්තාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගයක් විවේචනය කිරීමෙන් අධිකරණයට අපහාස කළ බවට ගොනුකර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණයේ පෙනීසිටින ලෙස සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්දුට අභියාචනාධිකරණය ඊයේ (11) නියෝග කළේය.

ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයක් විවේචනය කිරීමෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයට අපහාස කර ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් විභාගයක් පවත්වා ඇයට දඬුවම් නියම කරන්නැයි ඉල්ලා ඌව පළාත් ආණ්ඩුකාර මොහොමඩ් මුසම්මිල්ගේ පුත්‍රයා වන හාඩි ජමල්ඩීන් ගොනුකර ඇති පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී එලෙස නියම කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විනිසුරු ශෂී මහේන්ද්‍රන් යන අයගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ පැමිණිල්ල සළකා බැලිණි.

කාන්තාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌව පළාත් හිටපු ආණ්ඩුකාරවරයාගේ පුත්‍රයාට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා ඇපදීමේ නියෝගය අන්තර්ජාතික කාන්තා දිනයේදී වගඋත්තරකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් විවේචනය කළ බව සඳහන් කරන පැමිණිලිකරු, එම ප්‍රකාශයෙන් වගඋත්තරකාර, පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රීවරිය අධිකරණයට අපහාසයක් කර ඇති බැවින්, ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වා සුදුසු පියවරක් ගන්නැයි ඉල්ලා සිටී.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණය හමුවේ පෙනීනොසිටීම සම්බන්ධයෙන් විමසූ විට, ඇය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් කරුණු දක්වමින්, මීට පෙර නඩු දිනයේදී කළ දැනුම්දීම මත තම සේවාදායිකාව අධිකරණයට නොපැමිණියේ යැයි කීය.

පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න කරුණු දක්වමින්, පැමිණිල්ලට එරෙහිව ගොනුකර ඇති විරෝධතාවලට අදාළව තමන් ප්‍රතිවිරෝධතා ගොනුකළේ යැයි පැවැසීය.

වගඋත්තරකාරිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් කරුණු දක්වමින්, පැමිණිල්ලේ ප්‍රතිවිරෝධතා තමන්ට ලැබී නොමැති හෙයින්, අදාළ ප්‍රතිවිරෝධතා තමන්ට ලබාදෙන ලෙස ද, ප්‍රතිවිරෝධතාවලට උත්තර ගොනුකිරීමට අවසර දෙන ලෙස ද ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට අවසර දෙමින් අදාළ ප්‍රතිවිරෝධතා වගඋත්තරකාර පාර්ශ්වයට දීමට පැමිණිලිකාර පාර්ශ්වයට නියම කළ අතර, ඊට අදාළ ප්‍රතිඋත්තර නොවැම්බර් මස 29 වැනිදා ගොනුකිරීමට නියම කළ විනිසුරු මඬුල්ල, ඉදිරි නඩු දිනයේදී අධිකරණයේ පෙනීසිටින ලෙස වග උත්තරකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍රට නියම කළහ.(ලංකාදීප)