42.31%
17.27%
32.76%
September 27, 2024

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධනට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කිරීමට නියමිත බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නියෝග කළ පරිදි පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට රුපියල් මිලියන 75ක වන්දියක් ගෙවීමට නොහැකිවීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කිරීමට නියමිත බව නීතිපතිවරයා අද අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව නිලන්ත ජයවර්ධනට 2024 ඔක්තෝබර් 07 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

2023 ජනවාරි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ බුද්ධි අංශ පූර්ව අනතුරු ඇඟවීම් නොතකා අදාළ ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නිලන්ත ජයවර්ධන ඇතුළු හිටපු රජයේ නිලධාරීන් කිහිප දෙනෙකු වගකිව යුතු බවයි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය, විපතට පත් වූවන්ගේ පවුල්, කතෝලික පූජකවරුන් සහ තවත් අය විසින් ගොනු කරන ලද පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලීමෙන් අනතුරුව වන්දි වශයෙන් විවිධ මුදල් ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කෙරිණි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනද පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවලට අදාළව 2024 ජූලි මාසයේදී අනිවාර්ය නිවාඩු යවා ඇත.

එම අවස්ථාවේදී ජාතික පොලිස් කොමිසම පැවසුවේ නිලන්ත ජයවර්ධන විනය පරීක්ෂණයක් පැවැත්වෙන තෙක් නිවාඩු යවා ඇති බවයි.

42.31%
17.27%
32.76%