August 10, 2024

කන්තලේ සූරියපුර සිට පිළියන්දල දක්වා වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ රියැදුරකුගෙන් රුපියල් 2000/-ක අල්ලසක් ලබාගැනීම ඇතුළු චෝදනා හතරකට වරදකරු වූ පිළියන්දල පොලිසියේ රථවාහන අංශයේ හිටපු පොලිස් කොස්තාපල්වරයකුට වසර 08ක සිරදඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (09) නියම කළේය.

චරිත් ශ්‍රීමාල් නමැති හිටපු පොලිස් කොස්තාපල්වරයාට මෙම දඬුවම නියම කළ අතර, අල්ලස් කොමිසම මගින් ඉදිරිපත් කර තිබූ චෝදනා හතරට රුපියල් 5000/- බැගින් රුපියල් විසිදහසක දඩයක් නියම කළේය.

අගතියට පත් පැමිණිලිකාර ටිපර් රථ රියැදුරාට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසටද නියම කළේය.

අදාළ දඬුවම් කාලය තුළදී චූදිතගේ ඡන්ද අයිතිය අහෝසි කිරීමටද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

එක් එක් චෝදනාවට වසර දෙක බැගින් නියම කළ වසර අටක සිරදඬුවම වසර හතරකින් එකවර ගෙවීයන පරිදි නියම කරන බවද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

රජයේ සේවකයකුව සිටිමින් අල්ලස් ලබාගැනීම සහ දීර්ඝ නඩු විභාගයකට පසුව වරදකරුවීම යන කරුණු සළකා බැලීමෙන් අනතුරුව සමාජයට ආදර්ශයක් වීම සඳහා මෙම දඬුවම් නියම කරන බව සිය තීන්දු ප්‍රකාශ කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

කන්තලේ සිට කොළඹට පැමිණීමේදී විනාඩි කිහිපයකින් කල් ඉකුත් වූ බල පත්‍රයක් සහිතව වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ රියැදුරුගෙන් 2019 නොවැම්බර් 22 වැනි දිනදී රජයේ සේවකයකුව සිටිමින් අල්ලස් මුදලක් ඉල්ලා සිටීම, ලබාගැනීම ඇතුළු චෝදනා හතරක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි.(ලංකාදීප)

42.31%
17.27%
32.76%