September 17, 2023

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නැවත සේවයට කැඳවීමේ තීරණයට, විශ්‍රාමික වෛද්‍යවරුන් සහ කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට පැමිණීමට අපේක්ෂා කරන වෛද්‍ය විශේෂඥයන්ගෙන් සැළකිව යුතු ප්‍රතිචාරයක් ලැබී ඇති බව වාර්තා සඳහන් කරයි.

මේ අතර එම බඳවාගැනීම් ඉදිරි සතියේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තා අනාවරණය කරයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයට පිළියමක් ලෙස විශ්‍රාමික වෛද්‍යවරුන් කොන්ත්‍රාත් පදනම මත බඳවාගැනීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේය.

එවැනි විශ්‍රාමික වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් බඳවා ගැනීම මේ සතියේදී ආරම්භ කරන බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල උපුටා දක්වමින් Sunday Morning පුවත්පත වාර්තා කරයි.

ඔහු පවසන පරිදි, විශ්‍රාමික වෛද්‍යවරුන් නැවත බඳවාගැනීමේ සැලැස්ම මාස කිහිපයක් තිස්සේ සාකච්ඡා කර ඇති අතර, ඒ පිළිබඳව කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.