December 29, 2024

මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසන්නේ, කිසියම් පුද්ගලයකු විදේශ ගමන් බලපත්‍ර 17ක් ලබා ගැනීම සඳහා තම නම භාවිත කළ බවට මහජන ආරක්‍ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට (IGP) දන්වා ඇති බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියේ පසුගිය සතියේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

තමා ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගිය පළමු දිනයේදී එම පුද්ගලයා දෙපාර්තමේන්තු සේවකයකු ලෙස පෙනී සිටිමින් විවිධ අංශවලට කැඳවාගෙන ගොස්, එම දෙපාර්තමේන්තුවේ කටයුතු පිළිබඳව තමා දැනුවත් කළ බව නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

තමා ජනාධිපති කාර්යාලයේ සිට පැමිණි බව ඔහු දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට පවසා ඇත.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, තම කාර්ය මණ්ඩල සාමාජිකයින්ට මෙම පුද්ගලයා පිළිබඳව සැකයක් ඇති වී තමාව දැනුවත් කළ බවයි.

මෙම පුද්ගලයා දෙපාර්තමේන්තුවෙන් විදේශ ගමන් බලපත්‍ර 17ක් තම නම භාවිත කර ලබාගෙන ඇති බව දැනගත්තේ පසුදා බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

තමන් වැඩබාරගැනීම සඳහා ගිය පළමු දිනයේම සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස තමන් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ද ඉල්ලා සිටි බව ඔහු පවසයි.

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා තම නම භාවිත කළ බව කියන පුද්ගලයා මීට පෙර හමු වී නොමැති බවත්, පොලිස් පරීක්‍ෂණවලින් කරුණු අනාවරණය වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%