June 18, 2023

මෙම වසරේ හජ් වන්දනාව සඳහා මක්කම බලා පිටත්ව යෑමේදී  අනිවාර්ය meningococcal එන්නත ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් සිය ගණනකට නියාමනය නොකළ ක්‍රම මඟින් ලබා දී ඇතැයි සති අන්ත ජාතික ඉංග්‍රිසි පුවත්පතක් වන “ද සන්ඩේ ටයිම්ස්” අනාවරණය කරයි.

එමෙන්ම මෙම එන්නත නියමිත තත්ත්ව ආරක්ෂණ  නොමැතිව සාමාන්‍ය මගී ගමන් මලුවල ‍මෙරටට රැගෙන එන බවට වෛද්‍යවරු සැක පළ කරති.

හජ් වන්දනාව සඳහා විශාල ජනකායක් මක්කමට පැමිණෙන බැවින්, මෙම එන්නත ලබා ගැනීම සෞදි බලධාරීන් විසින් වන්දනාකරුවන්ට පනවන අනිවාර්ය නීතියකි.

වන්දනාවේ යන ශ්‍රී ලාංකිකයන් වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් එන්නත ලබා ගන්නා බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හජ් අංශය සඳහන් කරයි.

එහෙත්, වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් එන්නත් අංශය පසුගිය වසර පුරාවට මෙම එන්නත සපයා නොතිබූ බව “ද සන්ඩේ ටයිම්ස්” තහවුරු කරගෙන ඇත.

වසර කිහිපයකට පෙර මෙම එන්නත ශ්‍රී ලංකාවට ගෙන ඒම නතර කළ බව GlaxoSmithKline ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් “ද සන්ඩේ ටයිම්ස්” වාර්තා කරයි.

meningococcal එන්නත ගෙන්වීමට වෙනත් ආනයනකරුවන් නොමැති අතර, ඒ සඳහා දැනට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචියක් ද වී නොමැති බව පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.

හජ් වන්දනා චාරිකාව සංවිධානය කරන බොහෝ කණ්ඩායම් එකිනෙකට සම්බන්ධ වන අතර, මෙම කණ්ඩායම්වලට එන්නත ලබා දෙන්නේ ඇතැම් පෞද්ගලික අංශයේ වෛද්‍යවරුන් මඟිනි.

GlaxoSmithKline සමඟ එන්නත පිළිබඳ පරීක්ෂා කළ බවත්, එන්නත රජයේ හෝ පෞද්ගලික අංශය සතුව නොමැති බව ඔවුන් සඳහන් කරන්නේ යැයි, එම කණ්ඩායමක සිටින වෛද්‍යවරයෙක් “ද සන්ඩේ ටයිම්ස්” වෙත පවසා තිබේ.

කණ්ඩායමේ සෙසු සාමාජිකයන් ද පෞද්ගලික රෝහල්වලින් පරීක්ෂා කර ඇති අතර, ඔවුන් සතුව එම එන්නත නොමැති බව තහවුරු කර ඇතැයි වෛද්‍යවරයා සඳහන් කරයි.

මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සයිනුල් ආබ්දීන් මුහම්මද් ෆයිසාල් මේ වන විට මක්කමට ගොස් ඇත.

රෝහල්වල එන්නත නොමැති බව ඔහු නොදැන සිටි බවත්, ඔහු එම එන්නත ලබා ගත්තේ ඔහු සාමාජිකයක් වූ හජ්ජි කණ්ඩායමට සේවය කළ වෛද්‍යවරයෙක් මාර්ගයෙන් බවත්, සඳහන් කරයි.

නියමිත ක්‍රමවේදයෙන් තොරව එන්නත් වල දෝෂ හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට මෙම රෝගය වැළඳීමේ අවදානමක් පමණක් නොව, ඔවුන් එය නැවත පැමිණීමේදී රෝගය මෙරටට රැගෙන ඒමේ අවදානමක් ද තිබේ යැයි පුවත්පතට අදහස් දැක්වූ වෛද්‍යවරයා අනතුරු අඟවයි.

 

ද සන්ඩේ ටයිම්ස්