August 31, 2024

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ජාතික ජන බලවේගය සූදානම් වේ.

ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ජනමාධ්‍ය අමතමින් අද කියාසිටියේ, තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා සිය පක්ෂයට එරෙහිව මහජනයා භීතියට සහ කලබලයට පත්කරන අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බවයි.

සැප්තැම්බර් 21 වැනිදා ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජයගැනීමෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ විසින් සැප්තැම්බර් 22 වැනිදා රට පුරා කලබල ඇතිකිරීමේ සූදානමක් පවතින බවට තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා දේශපාලන වේදිකාවක කරන ලද ප්‍රකාශයක් උපුටා දක්වමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කළේය.

ඒ අනුව කඩිනමින් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවද වෛද්‍ය ජයතිස්ස ප්‍රකාශ කරයි.