January 4, 2025

වංචාව, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර නමැත්තා අපරාධ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඉන් අනතුරුව එම දෙපාර්තමේන්තු පරිශ්‍රයෙන් පිටතට පැමිණි ඔහු ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, මේ දිනවල දැඩි කතාබහකට ලක්ව ඇති අපේක්ෂා රෝහලට ඉදිකර දී තිබෙන නව වාට්ටු සංකීර්ණය සහ ඒ සඳහා මැදිහත්ව කටයුතු කළ කතරගම බස්නායක නිළමේවරයා සම්බන්ධයෙන් ද අදහස් පළකළේය.

ඒ අතරතුර, ඔහු සිය ජංගම දුරකතනයේ ඇති වීඩියෝවක් ජනමාධ්‍ය වෙත පෙන්වූ අතර එහි දැක්වුණේ හිටපු පොලිස්පතිවරයෙකු වූ පූජිත් ජයසුන්දර කිසියම් ප්‍රභූවරයෙකු සමග දුරකථන සංවාදයක නිරත වන ආකාරයයි.

එම වීඩියෝවට අනුව පූජිත් ජයසුන්දර තමා සමග දුරකථන සංවාදයේදී නිරත වී සිටි ප්‍රභූවරයාට පවසන්නේ නිලමේවරයෙකු අත්අඩංගුවට පත්වීම තමන් විසින් වළක්වන බව සහ එලෙස සිදුනොවීමට තමන් තරයේ වගබලා ගන්නා බවයි.

අනතුරුව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිදුකළ පැමිණිල්ල සම්බනධයෙන් අදහස් දක්වමින් කමන්ත තුෂාර ජනමාධ්‍ය වෙත පැවසුවේ කතරගම බස්නායක නිලමේවරයා එම තනතුර සඳහා සුදුසු නොමැති පුද්ගලයකු බවයි.

එම නිළමේවරයා 2013 වර්ෂයේ සිට ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස කටයුතු කර ඇති බවත්, ඔහුට එරෙහිව එම දේවාලයේ ආදායම් සහ වියදම් පිළිබඳ ගිණුම් ලේඛන ඉදිරිපත් නොකිරීමට අදාළව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවතින බව ද සමන් තුෂාර ජනමාධ්‍ය වෙත පැවසුවේය.

ඒ අනුව ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර නමැත්තා කතරගම බස්නායක නිළමේ තනතුරට කිසිසේත් සුදුස්සෙකු නොවන බවත්, ඔහු එම තනතුරට පත්වූයේ රාජපක්ෂවරුන්ගේ අනුහස මත බවත් ඔහු පැවැසීය.

අදාළ බස්නායක නිළමේවරයාගේ අතීතය දූෂණ වංචාවලින් පිරී ඇති බව පැවසූ කමන්ත තුෂාර ජනමාධ්‍ය වෙත ලේඛන කිහිපයක් ඉදිරිපත් කර පවසා සිටියේ, අපේක්ෂා රෝහලේ ඉදිකෙරෙන වාට්ටු සංකීරණය වෙනුවෙන් බව පවසා බැතිමතුන්ගෙන් එක් රැස් මූල්‍ය දායකත්වයන් වෙනුවෙන් ලබාදී ඇති ඇතැම් රිසිට්පත්වල අංකයක් හෝ නොමැති බවයි.

එමෙන්ම අදාළ නිළමේවරයාට වාහන කුලියට ගැනීමේදී සිදුකළ වංචා, සේවකයන් 39 දෙනකු මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යෙදවීම, ඉදිනොකළ කම්හලක් වෙනුවෙන් භාණ්ඩ මිලදී ගෙන වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා පවතින බව ද හෙතෙම වැඩිදුරටත් පැවැසුවේය.

42.31%
17.27%
32.76%