April 17, 2025

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය සම්බන්ධ බව කියන අර්බුධයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාළ පැමිණිල්ලේ දී, විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව ධම්මික පවසා ඇත්තේ, උපදේශන සේවා සපයන විශේෂිත පෞද්ගලික සමාගමක් ආචාර්ය සියඹලාපිටියට අයත් බව සහ ඔහු ඉකුත් සැප්තැම්බර් මාසයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස වැඩ භාරගැනීමෙන් පසුවද එම සමාගම ලංකා විදුලිබල මණ්ඩලයට සේවා සපයන බවයි.

“ඔහු පත්වීමට පෙර ලංවිමේ සේවා සපයන්නෙකු ලෙස ලියාපදිංචි වූ මෙම සමාගම ඔහුගේ සභාපතිත්වය යටතේ දිගින් දිගටම කොන්ත්‍රාත්තු ලබාගත්තා. නවතම ව්‍යාපෘතිවලින් එකක් වන්නේ ලෝක බැංකුව විසින් අරමුදල් සපයන ලද බලශක්ති අමාත්‍යාංශය සඳහා උපදේශන කොන්ත්‍රාත්තුවක්. එම කොන්ත්‍රාත්තුවේ වාර්තාව පසුගිය මාර්තු මාසයේදී නිකුත්වුණා. ලංවිමේ ඉහලම තනතුරක් දරමින් මෙවැනි සේවාවන් සැපයීමේ තත්වයක් හමුවේ යම් දූෂණයක් විය හැකි බවට කනස්සල්ලක් මතුකරනවා” යැයි සංජීව ධම්මික පෙන්වාදෙයි.

අදාළ සමාගම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ද සේවා සපයමින් සිට ඇති බව විදුලි පාරිභෝගකයන්ගේ සංගමය ඉදිරිපත් කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම එම සංගමය පවසන්නේ, මෙම සමාගම මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අමතරව බලශක්ති අමාත්‍යාංශයටද සේවා සපයමින් සිටින බවයි.

ව්‍යාපෘති නිමනොකිරීම හේතුවෙන් මෙම සමාගම මහජන උපයෝගිතා කොමිසම විසින් අසාදු ලේඛනගත කළ අවස්ථා ද ඇති බව ඔවුහු පෙන්වාදෙති.

කෙසේවෙතත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත්ගෙන් The Morning පුවත්පත මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ඔහු පවසා ඇත්තේ, විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය විසින් සඳහන් කරන ලද සමාගම මීට පෙර ව්‍යාපෘති කිහිපයක් සඳහා එම කොමිසම වෙත සේවා ලබා දී ඇති නමුත් එය දැනට කොමිෂන් සභාව සමඟ කිසිදු කාර්යයක නිරත නොවන බවයි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් The Morning විසින් කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් ආචාර්ය තිලක් සියඹලාපිටිය පවසා ඇත්තේ, ඔහු 2024 සැප්තැම්බර් අගදී ඉල්ලා අස්වන තුරු (ප්‍රශ්නගත සමාගමේ) කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ බවයි.

එහෙත් අදාළ සමාගම ලංවිමට සේවා සපයන්නෙකු නොවන බව ද ඔහු පවසා ඇත.