July 23, 2023

ශ්‍රී ලංකාවට මුං ඇට, උඳු සහ කව්පි ආනයනය කිරීමට තෝරාගත් වෙළෙඳුන්ට බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය ඉවත් කර, දේශීය ගොවීන්ට ලැබෙන මිල අනුව විචල්‍ය බද්දක් සමඟ, නිදහසේ ආනයනය කිරීමට අවසර දෙන ලෙස වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය කළ ඉල්ලීමක් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ස්ථාපිත ජාතික ආහාර සුරක්ෂිතතා කමිටුව විසින් සලකා බලමින් සිටින බව වාර්තා වේ.

වෙළෙඳ අමාත්‍යාංශය විසින් පසුගිය සතියේ, කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සහ පාරිභෝගික සේවා අධිකාරියෙන් මෙම භෝගවල ගොවිපල මිල සහ ඒවායේ වෙළඳපල මිල පිළිබඳව වාර්තා දෙකක් ලබාගෙන සුදුසු ආනයන බද්දක් ගණනය කිරීමට තීරණය කර ඇත.

ආනයන ක්‍රමය සංශෝධනය කර මහාපරිමාණ ආනයනකරුවන් කිහිපදෙනකුට ලබාදී ඇති බලපත්‍ර අහෝසි කිරීමේ යෝජනාව වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු විසින් යෝජනා කර ඇත්තේ, මෙම භෝග වර්ග වල අස්වැන්න ඉහළ යද්දී වෙළඳපොලේ හිඟයක් පවතින බවත්, මිල ගණන් ජනතාවට දැරිය නොහැකි ලෙස පවතින බවත් සඳහන් කරමිනි.

ඒ අනුව, ජාතික ආහාර සුරක්ෂිතතා කමිටුව සහ භාණ්ඩාගාරය ලබන මස අග වන විට මෙම තුන් භෝග සඳහා නව බද්දක් ගැසට් කිරීමටත් මෙතෙක් නිකුත් කර ඇති බලපත්‍ර අත්හිටුවීමටත් අපේක්ෂා කරන බව පැවැසේ.