March 27, 2024

අල්ලස් කොමිසම සඳහා ජනාධිපතිවරයා විසින් මෙතෙක් අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කර නොමැති බව පවසමින් එම කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් අභියෝග කරන බව ඉඩම් කොමසාරිස් ජනරාල් බන්දුල ජයසිංහගේ නීතිඥයන් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

මෙම රිට් අයදුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ සහය සඳහා කැඳවූ අවස්ථාවේදී ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හෆීල් ෆාරිස් අධිකරණයට දන්වා සිටියේ දූෂණ මර්දන පනත යටතේ අල්ලස් කොමිසම යටතේ දැනට බලාත්මක අධ්‍යක්ෂ ජනරාල්වරයකු නොමැති බවයි.

දූෂණ මර්දන පනත මගින් පෙර පැවති නීතිය සම්පූර්ණයෙන්ම අවලංගු කර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිලය තවදුරටත් පවත්වාගෙන යෑමට ප්‍රතිපාදන නොමැති බවත් නීතීඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරන පුද්ගලයා පෙර පනත යටතේ පත් කළ අයකු බවත් එම නිලධාරියාට එම තනතුරේ කටයුතු කිරීමට ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

නීතිවිරෝධී ලෙස මෝටර් රථයක් පැවරීම සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස්වරයා ඇතුළු හය දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි.

විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුව 2024 ජුනි 4 වැනි දින විභාගයට ගැනීමට නියම කළේය.

42.31%
17.27%
32.76%