December 25, 2023

කොළඹ මහනගර සභා බලප්‍රදේශය ආශ්‍රිතව අනතුරුදායක ලෙස හඳුනාගෙන ඇති ගස් ඉවත් කිරීමට පියවර ගනිමින් සිටින බවත්, එහිදී පරීක්ෂණ කටයුතු වෙනුවෙන් කොළඹ මහනගර සභාව ආනයනය කරන ලද ගස් ස්කෑනරය භාවිත කිරීමට අවධානය යොමුකර ඇති බවත්, කොළඹ නගර සභාවේ කොමසාරිස් භද්‍රානි ජයවර්ධන පවසයි.

අනතුරුදායක ගස් 558ක් හඳුනාගෙන ඇති අතර ඉන් 214ක් පමණ මේ වනවිට ඉවත්කර තිබේ.

රුපියල් මිලියන 40ක වියදමින් මිලදීගත් මෙම ස්කෑනරයෙහි උපයෝගීතාව තහවුරු කිරීම සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් හා සිසුන් මේ වන විට පරීක්ෂණ සිදුකරමින් පවතී.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී කොල්ලුපිටිය ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ මගී බස් රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් පුද්ගලයන් රැසක් තුවාල ලබා පස්දෙනකු ජීවිතක්ෂයට පත්විය.

එසේම, පසුගිය මාස කිහිපය තුළ කොළඹ නගර සීමාව ආශ්‍රිතව ගස් කඩාවැටීමේ සිදුවීම් කිහිපයක් ද වාර්තා විය.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් ඇති වූ මතභේදයන් සමග එවැනි අනාරක්ෂිත ගස් නිවැරදිව හඳුනාගෙන ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

කෙසේවෙතත්, අදාල සීමාව තුළ ඇති අනාරක්ෂිත ගස් ඉවත් කිරීම සදහා ප්‍රමාණවත් සම්පත් නොමැති බව කොළඹ නගර සභාවේ කොමසාරිස් භද්‍රානි ජයවර්ධන පවසයි.

පෞද්ගලික අංශයෙන් අමතර සම්පත් ලබාගනිමින් එම ගස් ඉවත් කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඇය වැඩිදුරටත් සදහන් කරයි.

දීර්ඝ කාලීනව නාගරික පරිසරවල ආරක්ෂාව සහතික කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරන බවත්, විශේෂයෙන්ම නාගරික අලංකරණ ව්‍යාපෘති සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත් ඇය පවසයි.(The Morning)

42.31%
17.27%
32.76%