September 1, 2024

ටෙන්ඩර් පිරිනැමීමේ ප්‍රමාදයක් හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සතු ගල් අඟුරු තොග ප්‍රමාණවත් වන්නේ ඊයේ දිනය(අගෝස්තු 31) වන විට දින 35කට පමණක් බව වාර්තා වේ.

ලංකා ගල් අඟුරු සමාගම විසින් අනාවරණ කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව මේ බව පෙනී ගොස් තිබේ.

2024/’25 සහ 2025/’26 කාලසීමාවන් සඳහා නොරොච්චෝලේ ගල් අඟුරු අවශ්‍යතාවයෙන් 50%ක් ලබා ගැනීම සඳහා වන දීර්ඝ කාලීන ටෙන්ඩරය ප්‍රදානය කිරීම ප්‍රමාද වීම සහ පවතින ගල් අඟුරු තොග භාවිතයට ගැනීම නිසා එම තොග ශීඝ්‍රයෙන් අඩුවෙමින් පැවතීම හේතුවෙන් දැනට ඇති තොග ප්‍රමාණවත් වන්නේ දින 35කට පමණක් බව හෙළිවී ඇත.

ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර ප්‍රකාශ කර ඇත්තේ “අපගේ පළමු නැව්ගත කිරීම සැප්තැම්බර් 6 වැනිදා බලාපොරොත්තු වූවාට වඩා කලින් පැමිණෙනවා. අපි එය බලාපොරොත්තු වූයේ 10 වැනිදා, නමුත් එය කලින් පැමිණෙන නිසා අපට කිසිදු ගැටලුවක් ඇති වන එකක් නැහැ. අපි සැප්තැම්බර් 10 වැනිදා නිල වශයෙන් සීසන් එක පටන් ගන්නවා මොකද 6 වැනිදා යාත්‍රාව ආවත් අපි 10 වැනිදා වෙනකන් බාන්නේ නැහැ,” යනුවෙනි.

පසුගිය වාරයේ ලැබීමට නියමිත තොග නවයක් ලැබීමට ඉතිරිව ඇති බවත් ඉන් එකක් දැන් පැමිණෙමින් තිබෙන බවත් ෂෙහාන් සුමනසේකර පෙන්වා දී තිබේ.

ඉතිරි තොග ද ඒ අයුරින්ම ලැබෙනු ඇති බවත් ඒ අනුව දළ වශයෙන් මෙට්‍රික් ටොන් 540,000ක තොගය නොවැම්බර් දක්වා ප්‍රමාණවත් විය යුතු බව ද ඔහු සඳහන් කර තිබේ.

“අගෝස්තු 31 ඉඳන් තවත් දින 35ක් අපට තිබෙනවා නම්, අපගේ වර්තමාන තොග සමඟ අපට ඔක්තෝබර් 5 දක්වා ආවරණය කරන්න පුළුවන්. ඉන්පසුව, අතිරේක මෙට්‍රික් ටොන් 540,000 සමඟ, අපට දළ වශයෙන් තවත් මාස දෙකකුත් දින 10කට තොග ප්‍රමාණවත්. ඔක්තෝබර් 5 සිට දෙසැම්බර් 20 හෝ 25 පමණ දක්වා, අපිට ගැටලුවක් වෙන්නේ නැහැ.” යනුවෙන් ඔහු පෙන්වා දී ඇත.

එවන් පසුබිමක, යෝජිත අඩු මිල ගණන් යටතේ වත්මන් ටෙන්ඩරය අවලංගු කර වත්මන් සැපයුම්කරුට කොන්ත්‍රාත්තුව ලබා දීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන ඇති බව විශ්වාසදායක ලෙස දැන ගන්නට ඇත.

මේ අතර, නොරොච්චෝලේ බලාගාරයෙන් මෙගාවොට් 900කට ආසන්න බලශක්තියක් සැපයීමත් සමඟ ජාතික විදුලිබල පද්ධතියට ගල් අඟුරු දායකත්වය 40.3% දක්වා ඉහළ ගොස් ඇති අතර එය රටේ සමස්ත විදුලි ජනනයෙන් 40%ක් පමණ වේ.(Sunday Morning)