March 25, 2025

ත්‍රිකුණාමල වරායට අනවසර පෞද්ගලික ගමනක් සඳහා 2019 වසරේදී, ජපන් ආධාර ඇතිව ලැබුණු අධිතාක්ෂණික නියමු යාත්‍රාවක් අවභාවිත කර අනතුරක් සිදුකර රජයට රුපියල් මිලියන 260 කට අධික අලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිවිල් බුද්ධි පෙරමුණ අල්ලස් කොමිසමට දෙවන වරටත් පැමිණිල්ලක් ගොනුකර තිබේ.

එම පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත පැවසුවේ, 2025 ජනවාරි 6 වැනි දින කොමිසමට පළමු පැමිණිල්ල AC/220/2025 යොමු අංකය යටතේ ගොනුකළ බවයි.

එහෙත් අද වනතුරු එම පැමිණිල්ල සම්බන්ධයෙන් කොමිසම කිසිදු පියවරක් ගෙන නොමැති බව ද ඔහු පවසයි.

පෙබරවාරි 10 වැනිදා පැමිණිල්ල ලැබුණු බවට සහතිකයක් නිකුත් කළද, පොලිස් මූලස්ථානයට ඉදිරිපත් කර ඇති අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම ඇතුළු ඉදිරි පියවර කිසිවක් ගෙන නොමැති බවද ඔහු සඳහන් කළේය.

සංජය මහවත්ත කියාසිටියේ රාජ්‍ය දේපළ අවභාවිතය හේතුවෙන් රජයට මිලියන ගණනක පාඩුවක් සිදුව ඇති බවට පැහැදිලි සාක්ෂි තිබෙන බවයි.

පැමිණිල්ල ඉදිරිපත් කර දැනට මාස දෙකකට වැඩි කාලයක් ගතවී ඇති බව සඳහන් කරමින් ඒ සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වනු ඇතැයි ද ඔහු විශ්වාසය පළකළේය.

නඩුවේ විත්තිකරුවන් සාක්ෂි වසන්කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා බව පැවසූ ඔහු පෙන්වා දුන්නේ, දැනට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ප්‍රධාන චූදිතයා සිද්ධිය වසන්කිරීම සඳහා සිය තනතුර යොදාගනිමින් සිටින බව වරාය අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන බවයි.

එමෙන්ම සංජය මහවත්ත කියාසිටියේ, හානියට පත් යාත්‍රාව අක්‍රියව පවතින නිසා වරාය අධිකාරියට සැළකිව යුතු මූල්‍ය පාඩුවක් සිදුව ඇති බවයි.

ඊට විකල්පයක් ලෙස, නැව් තල්ලු කිරීම සඳහා ටග්බෝට්ටු භාවිත කරන අතර එය අතිරේක වියදම් නිර්මාණය කරන කටයුත්තක් බව ද ඔහු පවසයි.

ත්‍රිකුණාමලය වරාය මසකට ආසන්න වශයෙන් සමුද්‍රීය මෙහෙයුම් 20ත් 25ත් අතර ප්‍රමාණයක් හසුරුවන අතර, යාත්‍රාව විනාශ වීම හේතුවෙන් එම මෙහෙයුම්වලින් සියයට 50කට ආසන්න ප්‍රමාණයකට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

අධිතාක්‍ෂණික යාත්‍රාව වෙනුවට ටග්බෝට් භාවිත කිරීමෙන් එක් මෙහෙයුමකට අවම වශයෙන් ඩීසල් ලීටර් 100 ක් වැය වන බවත්, එය මසකට ලීටර් 2,000 කට වඩා වැඩි බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියට වාර්ෂිකව ඩීසල් ලීටර් 24,000ක පමණ අමතර වියදමක් දැරීමට සිදුවී ඇතැයි ද ඔහු පෙන්වාදෙයි.

එමෙන්ම මහජන මුදලින් සිදුකරන මෙවැනි අනවශ්‍ය වියදම් ජාතික අපරාධයක් බව පෙන්වා දුන් සංජය මහවත්ත, ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ප්‍රධාන චූදිතයන් වන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ත්‍රිකුණාමලයේ වත්මන් නියෝජ්‍ය වරාය මාස්ටර්වරයා එම තනතුරුවලින් ඉවත්කරන ලෙස සහ විමර්ශනයට ඔවුන්ගේ පූර්ණ සහයෝගය සහතික කරන ලෙසයි.