January 5, 2024

ආගමික දේශනා මගින් සියදිවි නසාගැනීමට ප්‍රවර්ධනය කළ බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව, පසුගිය දින කිහිපය තුළ වාර්තා වූ සැකකටයුතු මරණ හතක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීමට එම දෙපාර්තමේන්තුවට භාරව ඇතැයි වාර්තා වේ.

රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ ඉගැන්වීම්වලට හසු වූ පුද්ගලයන් තම නිවෙස්වල සිටී නම් ඔවුන් පිලිබඳ අවධානයෙන් සිටින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පසුගියදා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ආගමික දේශකයකු වන රුවන් සමඟ සමීපව ඇසුරු කළ තවත් පුද්ගලයන් දෙදෙනකු ද වස පානය කර ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවල ආගම් පිළිබඳ දේශන පවත්වමින් සිටි රුවන් ප්‍රසන්න ගුණරත්න පසුගියදා වසපානය කර සියදිවි හානිකර ගත් බව වාර්තා විය.

පසුව ඔහුගේ බිරිද සහ දරුවන් තිදෙනා ද ඒ ආකාරයෙන්ම මියගොස් සිටියදී හමුවිය.

මියගිය කාන්තාව සහ අනෙක් පුද්ගලයා රුවන්ගේ සහ ඔහුගේ පවුලේ අයගේ අවසන් කටයුතු සඳහා සහභාගී වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව සඳහන් කරන්නේ, අදාළ දේශකවරයාගේ දේශනාවලට හසු වූ පුද්ගලයන් ඛේදජනක ලෙස සිය ජීවිතය අවසන් කර ගෙන ඇති බවයි.

වාර්තා වන පරිදි, මෙම දේශනාවලදී, ඔහු සියදිවි නසාගැනීම ‘සාධාරණීකරණය’ කර ඇති අතර, එය ‘ඊළඟ ආත්මයට’ ඉක්මන් සංක්‍රමණයක් සඳහා මාර්ගයක් බව පවසා තිබේ.

42.31%
17.27%
32.76%