March 24, 2024

2019 වසරේ සිදු වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිටුපස සිටි සැබෑ අපරාධකරුවන් පිළිබඳ “හොඳින් දන්නා” බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෑතකදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බව වාර්තා වේ.

පසුගිය සිකුරාදා (22) මහනුවරදී පැවති ප්‍රසිද්ධ දේශනයකදී හිපටු ජනාධිපති සිරිසේන විසින් කරන ලද මෙම හෙළිදරව්ව පුළුල් ලෙස අවධානයට ලක්වී ඇති අතර ඒ පිළිබඳ ප්‍රශ්න ද මතු කර තිබේ.

“ප්‍රහාර සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් සුළු වැරදිකරුවන්. සැබෑ වැරදිකරුවන් තවමත් නිදැල්ලේ. කෙසේවෙතත් පාස්කු ඉරිදා ප්‍රහාරයේ අපරාධකරුවන් පිළිබඳ හෙළිදරව් කිරීමට මා අධිකරණයට කැදවන්නේ නම් විශේෂ ප්‍රකාශයක් කිරීමට මම සුදානම්” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබිණි.

“මම මේ තොරතුරු වසන් කරමින් සිටියෙ, එබැවින් විනිසුරුවන් ද එය රහසිගත තබා ගැනීම අත්‍යවශ්‍යයි,” යනුවෙන් සිරිසේන වැඩිදුරටත් පැවසීය.

හිටපු ජනාධිපති සිරිසේන සිකුරාදා ප්‍රකාශ කළේ මෙය සති තුනකට පෙර තමාට ලැබුණු තොරතුරු මත පදනම් වූ ප්‍රකාශයක් බවත්, නියෝග කළහොත් මෙම තොරතුරු අධිකරණයට හෙළි කිරීමට සූදානම් බවත්ය.

“ප්‍රකාශය ප්‍රසිද්ධියට පත් කිරීම මගේ ජීවිතයට සහ මගේ පවුලේ සාමාජිකයන්ගේ ජීවිතවලට විශාල අවදානමක්. එම නිසා එය රහසිගතව සිදු කළ යුතුයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

හිටපු ජනාධිපතිවරයාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය සිකුරාදා දිනයේ ප්‍රසිද්ධියට පත්වීමත් සමඟම සිරිසේන අත්අඩංගුවට ගැනීමට වහා පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මහජන ආරක්ෂක අමාත්‍යංශය සහ අදාළ සියලු බලධාරීන්ගෙන් කතෝලික සභාව ඉල්ලා සිටියේය.

මේ අතර, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන කියා සිටියේ සිරිසේනගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස බලකරමින් සමගි ජන බලවේගයේ කතෝලික කමිටුව ඊයේ (23) පෙරවරුවේ පොලිසියට පැමිණිල්ලක් කළ බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ සහය සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති අතර ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින බවයි.

“ප්‍රශ්න කිරීම ආරම්භ කළ හැකියි, නමුත් අපි තවම ආරම්භ කර නැහැ. අපට නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් අවශ්‍ය වනවා ,” යැයි එම නිලධාරියා පැවසීය.

මේ අතර, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති සිරිසේන පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් ඊයේ සවස පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

කෙසේවෙතත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිසේන විසින් මෑතකදී කළ හෙළිදරව්වට අදාළ සාක්ෂි යටපත් කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමේ හැකියාව පිළිබඳ ඇමැති අලස් ස්ථිර ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

“ඒ ගැන අදහස් දැක්වීමට කල් වැඩියි. පළමුව, අපි එය සොයා බැලිය යුතුයි. මේ සියල්ල කළ හැකි නමුත් අදහස් දැක්වීමට කල් වැඩියි,” යනුවෙන් අලස් ප්‍රකාශ කළේය.

සිරිසේනගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත යුතු යැයි පාර්ශ්ව ගණනාවක් ඉල්ලා සිටීම නිසා ඇමැති අලස්ට පීඩනයක් එල්ල වෙමින් තිබෙන බව ද වාර්තා වේ.

42.31%
17.27%
32.76%