June 20, 2024

සංචාරක වීසා මත මෙරට රැඳී සිටිමින් විදෙස් ජාතිකයන් විසින් කිසිදු නියාමනයකට ලක් නොවී පවත්වාගෙන යනු ලබන මාර්ගගත ණය ලබාදීමේ ආයතන පිළිබඳ මනා පරීක්ෂණයක් කර රටට අනාවරණය කරන්නැයි ඉල්ලා නව ජනතා පෙරමුණ විසින් ඊයේ (19දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

විශේෂයෙන් මෙය මූල්‍ය අපරාධයක් බැවින් මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවටද පසුගියදා ලිඛිතව පැමිණිල්ලක් සිදුකළ බව නව ජනතා පෙරමුණේ මධ්‍යම කාරක සභික ගයාත්‍රි සොයිසා පැවැසීය.

අන්තර්ජාල මාර්ගගත ක්‍රම ඔස්සේ ණය ලබාගැනීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යසනය නියාමනය කළයුතු අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු නිරාවරණය කළ යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර ඇති බවත් හෙතෙම පැවැසීය.

අන්තර්ජාලය ඔස්සේ මෙම ණය දෙන ආයතන සම්බන්ධයෙන් ප්‍රවර්ධන වැඩසටහන් ෆේස්බුක්, වස්ඇප් වැනි සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ වන විට ප්‍රවර්ධනය කරමින් හා ක්‍රියාත්මක වෙමින් පවතින බවත් සඳහන් කළ හෙතෙම රට ආර්ථික වශයෙන් කඩා වැටී ගොඩ එන මේ මොහොතේ මෙමඟින් සමාජ ව්‍යසනයක් ඇති විය හැකි බවට අනතුරු අඟවන බවත් පැවැසීය.

විශේෂයෙන් පාසල් යන වයසේ දරුවන් මෙයට ප්‍රධාන වශයෙන් ගොදුරුවිය හැකි බවත්, මෙම උගුලේ පැටළී ණය ගෙවීමට නොහැකිවීමේ ප්‍රතිඵලයක් ලෙස සියදිවි නසාගැනීමේ ප්‍රතිශතයද මේ නිසා වැඩි විය හැකි බවද කීය.

ඉහත කරුණු සැලකිල්ලට ගෙන මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගේම අනෙක් සියලු ආයතන ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර මීට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද එම පෙරමුණ ඉල්ලා සිටී.(මව්බිම)

42.31%
17.27%
32.76%