September 19, 2024

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම පරීක්ෂණ අවසන් වූ පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ තිබූ ප්‍රශ්න තුනට සමාන ප්‍රශ්න තුනක් ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍රයක් හරහා අන්තර්ජාලයට ඇතුළත් කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පසුගියදා පැවසීය.

ප්‍රශ්න ඇත්ත වශයෙන්ම කාන්දු වී ඇති බව විමර්ශනවලින් අනාවරණය වුවහොත් ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමේ ක්‍රියාවලියේදී අදාළ ප්‍රශ්න නොසළකා හරින බවද ඔහු ප්‍රකාශ කර තිබිණි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනකට සමාන ප්‍රශ්න තුනක් ඇතුළත් ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ ගුරුවරියක් විසින් සමාජ මාධ්‍ය වෙත එක්කර ඇති බවට ලැබුණු තොරතුරක් මත විමර්ශනයක් සිදුකළ බව ඔහු අනාවරණ කළේය.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට පැමිණෙන බවත් ඔවුන්ගේ වාර්තාව ලැබුණු පසු අවසන් තීරණයක් ගන්නා බවත් ඔහු ප්‍රකාශ කර තිබිණි.

මේ අතර, පසුගිය දා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ගේ මව්පියන් පිරිසක් ඊයේ (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක නිරත වූයේ විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුන ඉවත් කිරීමට යෝජිත තීරණයට විරෝධය පළ කරමිනි.

ඒ වෙනුවට සැප්තැම්බර් 15 වැනිදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්පූර්ණයෙන්ම අවලංගු කරන ලෙස විරෝධතාකරුවන් ඉල්ලා තිබිණි.