August 28, 2024

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට නවතා තිබූ වාණිජ අපරාධ විමර්ශන අංශයේ කොස්තාපල්වරයකුට අයත් රුපියල් 550,000/= ක් පමණ වටිනා යතුරුපැදියක් සොරාගෙන ගොස් ඇතැයි කොටුව පොලිසිය කියයි.

කොස්තාපල්වරයා පෙරේදා (26) පෙරවරු 6 ට පමණ එම යතුරුපැදි යෙන් රාජකාරිය සඳහා පැමින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට නවතා රාජකාරී සඳහා ගොස් මීගමුව අධිකරණයේ විභාග වූ නඩුවක් සඳහා පෙනීසිට නැවත වාණිජ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණ සවස 3.10 ට පමණ ලිපියක් බාරදීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යෑම සඳහා යතුරුපැදිය නවතා තිබූ ස්ථානය වෙත පැමිණ බලද්දී යතුරුපැදිය එම ස්ථානයේ නොමැති බව දැක, ප්‍රධාන දොරටුවේ රාජකාරී නිරතව සිටි නිලධාරීන් දැනුවත් කර නීතිපති දෙපාර්තමේන්තුවට ලිපිය භාරදීම සඳහා ගොස් තිබූ බව පොලිසිය කියයි.

අනතුරුව වාණිජ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණ එහි නිලධාරීන් සමඟ යතුරුපැදිය නවතා තිබූ අවට ස්ථානවල සෝදිසිකර සොයාගැනීමට නොහැකි වූ බැවින් යම්කිසි පුද්ගලයෙකු සොරාගෙන ගොස් ඇති බවට සඳහන් කරමින් පැමිණිල්ලක් කළ බව පොලිසිය සඳහන් කරයි.

කොටුව පොලිසිය සිදුවීම පිළිබඳව විමර්ශන පවත්වයි.