December 24, 2023

තුන් මසකට ආසන්න කාලයක් පුරා පැවැත්වෙන ඊශ්‍රායලය සහ හමාස් සටන්කරුවන් අතර යුද්ධයේදී ගාසා තීරය වටලෑමට විරෝධය පෑමක් වශයෙන් ජේසුස් වහන්සේ උපන් නගරය වන බෙත්ලෙහෙම එහි වාර්ෂික නත්තල් සැමරුම් අවලංගු කර තිබේ.

බෙත්ලෙහෙම මේ වනවිට ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින බටහිර ඉවුරේ පිහිටා ඇත.

සාමාන්‍යයෙන් දෙසැම්බර් අග වනවිට බෙත්ලෙහෙම වන්දනාකරුවන් සහ අනෙකුත් සැමරුම්කරුවන්ගෙන් පිරී යයි.

කෙසේවෙතත්, මෙම වසරේ උත්සව ඉවැන්ජලිකල් ලූතරන් නත්තල් දේවස්ථානයේ සුන්බුන්වලින් වට වූ, කෙෆීයකින් (පලස්තීනුවන් හිස වටා ඔතන සළුව) ඔතා සිටින ජේසු බිළිඳාගේ උපතේ දර්ශනයක් වෙත වෙනස්ව ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

නත්තලට පෙර දිනය යෙදෙන ඉරිදා මැන්ජර්ච තුරස්‍රයේ ද එවැනිම දර්ශනයක් තබනු ඇත.

මේ අතර, ජේසු බිළිඳාගේ උපතේ පල්ලිය වන හයවැනි සියවස දක්වා දිවයන දේවස්ථානයේ උපත පිළිබඳ දර්ශනයේ ද රේසර් කම්බි සහ තාර ඔතා ඇති රූප ඇතුළත් විය.

නත්තල් සමයේදී බෙත්ලෙහෙමට පැමිණෙන සාමාන්‍ය දෛනික නරඹන්නන් 6,000ක් වන අතර මාසයකදී එය 1,000ට වඩා අඩු සංඛ්‍යාවක් දක්වා පහත බැස ඇති බැවින් පල්ලිය ප්‍රායෝගිකව හිස් වී ඇති බව වොෂින්ටන් පෝස්ට් වාර්තා කරයි.

මෙවැනි තත්ත්වයක් උද්ගත වූයේ ගාසා තීරයේ යුද්ධය හේතුවෙන් මහජන සැමරුම් අවලංගු කිරීමට පසුගිය මාසයේ එක් වූ බහුවිධ පලස්තීන ක්‍රිස්තියානි නායකයන් ඒකාබද්ධව තීරණය කිරීමයි.

එහි ප්‍රතිඵලයක් ලෙස, ලතින් කුලදෙටුවන්ගේ පෙළපාලිය සමඟින් නගරයට පැමිණෙන බාලදක්ෂ භටයන් 28 දෙනකුගේ සුපුරුදු පෙළපාලිය වෙනුවට එක්තැනක සිට සාමය පිළිබඳ බයිබල් පද ගැයීමකට සහ ගාසා දරුවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරන නිහඬ භට පිරිසක් දක්වා සැමරුම් අඩුවනු ඇතැයි වොෂින්ටන් පෝස්ට් වැඩිදුරටත් පවසයි.

කොවිඩ්-19 හේතුවෙන් වසර දෙකක කාලයක් බෙත්ලෙහෙමේ උත්සව සීමාකර තිබිණි.

2022 දී නත්තල් සැමරුම් යළි සම්පූර්ණයෙන් බෙත්ලෙහෙම වෙත පැමිණ වසරකට පසුව දැන් නැවතත් සීමාකිරීමකට යටත්ව තිබේ.

1,200ක් පමණ මරණයට පත්කරමින් සහ අවම වශයෙන් තවත් 240ක් ප්‍රාණ ඇපයට ගෙන සිටින ඊශ්‍රායලයට එරෙහිව හමාස්වරුන්ගේ ඔක්තෝබර් 7දා ත්‍රස්ත ප්‍රහාරය බෙත්ලෙහෙමේ ක්‍රිස්තියානි නායකයන් හෙළාදැක තිබේ.

“ඔක්තෝබර් 7 වැනි දින හමාස් සංවිධානයේ ම්ලේච්ඡ ප්‍රහාරයන් හෙළාදකින අතර ඊශ්‍රායල ජාතිකයන් සහ අනෙකුත් ජාතීන් 1400 කට ආසන්න පිරිසකගේ ජීවිත අහිමි කිරීමට හේතු වූ අතර ප්‍රාණඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින සියලුම සිවිල් වැසියන් වහාම නිදහස් කරන ලෙස අපි ඉල්ලා සිටිමු” යනුවෙන් බෙත්ලෙහෙම් පූජකවරු පිරිසක් පසුගිය මාසයේ ජනාධිපති ජෝ බයිඩන්ට ලිපියක් ලිවීය.

“දෙපාර්ශවයේම බොහෝදෙනෙකුට බොහෝ දේ අහිමි වූ විට සැමරීම කළ නොහැක්කකි”, ෆ්‍රැන්සිස්කන් ෆ්‍රියර් සහ ශාන්ත කැතරින් දේවස්ථානයේ දේවගැතිවරයකු වන රමි අසක්‍රීහ් වොෂින්ටන් පෝස්ට් වෙත පවසා ඇත.

“යුද්ධයෙන් විපතට පත්වූවන් සමඟ සහයෝගීතාවයේ සලකුණක් ලෙස අපි උත්සව අවලංගු කළෙමු,” බයිඩන් වෙත යොමුකළ ලිපියට අත්සන් කළ අසක්‍රීහ් පැහැදිලි කර තිබේ.

සිය වාර්ෂික නත්තල් කතාවේදී බෙත්ලෙහෙම් නගරාධිපති හැනා නැනානියා ඊශ්‍රායලයේ ගාසා තීරයට එල්ල කරන පළිගැනීමේ බෝම්බ ප්‍රහාරය “ජන සංහාරය” සහ “වාර්ගික සංහාරය” ලෙස හැඳින්වූ බව වොෂින්ටන් පෝස්ට් පැවසීය.