March 28, 2024

චීන ජනාධිපති ෂී ජින්පින් සහ ශ්‍රී ලංකා අගමැති දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් ඊයේ (2024.03.27) බීජිං හි මහා ශාලාවේදී පැවැත්විණි.

රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන අන්තර්ජාතික කටයුතුවලදී මිත්‍රත්වය, සාමය, අන්‍යෝන්‍ය ගෞරවය සහ පංචවිධ ප්‍රතිපත්තිය යටතේ අඛණ්ඩව ක්‍රියාකිරීමට දෙරටේම එකඟතාව පළවිය.

දෙරට අතර අන්‍යෝන්‍ය ගෞරවය සහ අන්‍යෝන්‍ය ඵලදායිතාව මත ද්විපාර්ශ්වික සබඳතා පැවතිය යුතු බවත්, එම ප්‍රතිපත්තිය අනුව කටයුතු කිරීම දෙරටටම හොඳ ආදර්ශයක් ලබා දෙන බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය යෝජනා ක්‍රම ඉදිරිපත් කළ සැණින් ඒ සඳහා චීනය සහාය ලබාදෙන බව ද චීන ජනාධිපතිවරයා මෙහිදී සහතික විය.

දේශපාලන සහ සමාජ ආර්ථික ප්‍රගතිය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන් සඳහා චීනයේ අඛණ්ඩ සහාය ලබාදෙන බවට චීන ජනාධිපතිවරයා සහතික විය.

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් චීනය සැමවිටම පෙනීසිටින බව චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

පැයකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවලදී චීන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා අගමැතිවරයාගේ පියාගේ පරම්පරාව චීනයට ලබාදුන් සහයෝගය පිළිබඳව ස්තුතිය පළකළේය.

අගමැතිවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂය සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් පක්ෂ චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

42.31%
17.27%
32.76%