November 29, 2024

ඇතැම් ‘පාර්ශ්වයන්’ රටේ ආර්ථික තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන අවස්ථාවක, ශ්‍රී ලංකාව බාහිර බලපෑම්වලට යටත් නොවී ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යා යුතු බව මෙරට චීන තානාපති Qi Zhenhong පවසයි.

චීනයේ ස්ථාවරය සහ ශ්‍රී ලංකාව සමඟ අනාගත සබඳතා පැහැදිලි කරමින් කොළඹදී ජනමාධ්‍යවේදීන් අමතමින් තානාපතිවරයා පැවසුවේ, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වයෙන් ගොඩඒමට වෙනත් රටවල සහාය අවශ්‍ය බව ඇතැම් පාර්ශව ශ්‍රී ලංකා පාර්ශවයට පෙන්වා දී ඇති බවයි.

ශ්‍රී ලාංකික ජනතාව තමන් ගැන විශ්වාසයෙන් සිටිය යුතු අතර, චීනය වැනි මිත්‍රශීලී හවුල්කරුවන් සමඟ සබඳතා ශක්තිමත් කරගැනීම දෙස බැලිය යුතු බැවින් මෙම ප්‍රකාශය වැරදි බව ද ඔහු පැවසීය.

“ශ්‍රී ලංකාවේ සිටීමට හෝ ශ්‍රී ලාංකික ජනතාවට උපකාර කිරීමට චීනයට පෞද්ගලික න්‍යාය පත්‍රයක් නොමැත. චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් බවට පත්කිරීමට සහ විදේශ බලපෑම්වලට ඔරොත්තු දීමට උපකාරී වනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු. නව පාලනයේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව නව පරිච්ඡේදයක් විවෘත කර ඇති අතර, චීනය ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව විශ්වාසය තබා ඇත” යනුවෙන් ද චීන තානාපතිවරයා පැවසුවේය.

ශ්‍රී ලංකා මුහුදු සීමාවට විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රාවක් ඇතුළු කිරීම සඳහා චීනය කළ ඉල්ලීම පැවැති ආණ්ඩුව ප්‍රතික්ෂේප කිරීමත් සමඟ චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා පළුදු වූ බව මෙරට චීන තානාපති Qi Zhenhong එහිදී පැවසීය.

ශක්තිමත් බැඳීම් තිබියදීත්, පැවැති ශ්‍රී ලංකා රජය එවැනි ස්ථාවරයක් ගැනීමෙන් කලකිරීමට පත් වූ බව ද ඔහු පැවසුවේය.

එම පර්යේෂණ යාත්‍රා මාලදිවයිනේ මුහුදේදී පිළිගත් නමුත් ශ්‍රී ලංකාව එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පුදුමයට හා කලකිරීමට පත් වූ බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ ‘සුදු අලි’ යනුවෙන් චෝදනා එල්ල වී ඇති ව්‍යාපෘති සඳහා චීනය ආයෝජනය කර ඇති බවට ඇතැම් පාර්ශ්වයන් කියාසිටින බව ද චීන තානාපතිවරයා එහිදී පැහැදිළි කළේය.

චීන රජය විසින් ආයෝජනය කර ඇති සෑම ව්‍යාපෘතියක්ම පැවැති ආණ්ඩුවල ඉල්ලීම මත සිදු වූ ඒවා බව ද ඔහු පැවසීය.

නෙළුම් කුළුණ උදාහරණයක් ලෙස ගෙනහැර දක්වමින් ඔහු කියාසිටියේ, කුළුණ පෞද්ගලික සමාගමකට බදුදීමෙන් පසු එය ලාභ ලැබීමට පටන් ගෙන ශ්‍රී ලංකාවට සංකේතයක් බවට පත්ව ඇති බවයි.

හම්බන්තොට වරාය සහ කොළඹ වරාය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, මෙම වරාය දෙකම ශ්‍රී ලංකා රජයට විශාල ආදායමක් උපයා දෙන බව හා ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි ව්‍යාපෘති ඉදිකරන විට එය ක්‍රියාත්මක කරන්නේ කෙසේදැයි රට දැනගත යුතු බවයි.

“ඇතැම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ සමහර ව්‍යාපෘති හඳුන්වන්නේ ‘සුදු අලි’ ව්‍යාපෘති ලෙසයි. නමුත් මේ චෝදනා පදනම් විරහිතයි. ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත චීනය මෙම ව්‍යාපෘති ලබාදුන් අතර ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් මෙම ව්‍යාපෘතිවල දුර්වල ක්‍රියාකාරිත්වය නිසා ඒවා නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට නොහැකි වුණා” Qi පැවසීය.

චීනයේ ණය උගුල පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් තානාපතිවරයා පැවසුවේ එවැනි දෙයක් නොමැති බවයි.

එහෙත් චීනය තවමත් ශ්‍රී ලංකාවට ණය සහ ආයෝජන ලබාදෙන බව ඔහු සඳහන් කළේය.

“ණය දෙන විට ණයහිමියාට දොස් නොකිය යුතුයි. ඒ වෙනුවට, දොස් පැවරිය යුත්තේ ණය නිවැරදි ආකාරයෙන් භාවිතා කිරීමට නොදන්නා තැනැත්තායි ” යනුවෙන් තානාපතිවරයා පැවසීය.

42.31%
17.27%
32.76%