September 17, 2023

චීන වෙරළේ සිට කිලෝමීටර් දහස් ගණනක් දුරින් පිලිපීනය, මැලේසියාව, ඉන්දුනීසියාව, බෲනායි, වියට්නාමය, තායිවානය සහ ඉන්දියාවට වඩා විශාල ප්‍රදේශයක් වන දකුණු චීන මුහුදේ සියලුම ප්‍රදේශ පාහේ අයිතියට හිමිකම් කියන අලුතින් අඳින ලද සිතියමක් චීන බලධාරීන් පසුගියදා නිකුත් කර ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සන්නිවේදනය කරන ඉංග්‍රීසි භාෂා ජනමාධ්‍ය ආයතනයක් වන ‘ග්ලෝබල් ටයිම්ස්’ එය විස්තර කර ඇත්තේ, “නීතියට අනුකූලව ස්වෛරීභාවය පිළිබඳ සාමාන්‍ය අභ්‍යාසයක්” ලෙසිනි.

මෙම සිතියම පිළිබඳව අදහස් දක්වන පිලිපීන ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර ඇත්තේ, නව සිතියම “දකුණු චීන මුහුද පාලනය කිරීමක් සහ එහි වාඩිලෑමක්” ලෙසිනි.

CBC ප්‍රවෘත්ති සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ආරක්ෂක ලේකම් ගිල්බර්ටෝ ටියෝඩෝරෝ පවසා ඇත්තේ, මෙම පියවර “චීනයේ ප්‍රසාරණය සහ ව්‍යාප්තවාදය පිළිබඳ අභිප්‍රාය ඔප්පු කරන” බවයි.

චීනය මෙම වැඩසටහන නතර නොකළහොත්, සමස්ත අන්තර්ජාතික නීති පද්ධතියම අනතුරේ හෙළන බවද ලේකම්වරයා පෙන්වාදී ඇත.