April 20, 2024

චීනය විසින් සිම්බාබ්වේ වෙත ලබා දී ඇති පොලී රහිත ණය වලින් නිශ්චිත ප්‍රමාණයක් කපාහැර ඇති බව වාර්තා වෙයි.

එම වාර්තා පළවුණේ ලොව රටවල් ඉලක්ක කර චීනය විසින් ක්‍රියාත්මක කරන ස්ථිර ණය උගුලක් සම්බන්ධයෙන් අන්තර්ජාතික විශ්ලේෂකයන් අනතුරු අඟවා තිබියදීයි.

කෙසේවෙතත් සිම්බාබ්වේ රාජ්‍යයට එහි ණය අර්බුදයෙන් මිදීම සඳහා මාර්ගයක් සොයාගැනීමට උපකාර කිරීමට චීනය පොරොන්දු වී ඇතැයි ද විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.

2023 වසරේ සැප්තැම්බර් මාසය වන විට, සිම්බාබ්වේ රාජ්‍යයේ රාජ්‍ය ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 17.7 ක් විය.

ඉන් අමෙරිකානු ඩොලර් බිලියන 12.7 ක් බාහිර පාර්ශවවලින් ලබාගත් ණය වූ අතර ඩොලර් බිලියන 5ක් දේශීය ණය බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් සිම්බාබ්වේ රාජ්‍යය ණය ආපසු ගෙවීම පැහැරහැරීමෙන් පසුව ලෝක බැංකුව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) වැනි බහුපාර්ශ්වික ණය හිමියන්ගෙන් ණය ලබාගැනීම සඳහා නුසුදුස්සකු බවට පත්විය.

එබැවින් විදේශ ණයවලින් වැඩි ප්‍රමාණයක් චීනයෙන් ලබාගැනීමට සිම්බාබ්වේ රාජ්‍යය කටයුතු කර තිබේ.

මීට වසර හයකට පෙර රොබට් මුගාබේගේ පාලනය බිඳවැටීමෙන් පසුව, සිම්බාබ්වේ සිය තිරසාර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් සමඟ ගිවිසුමකට එළඹීමට අරගල කරමින් සිටියි.

ඒ අනුව මොසැම්බිකානු ජනාධිපති Joachim Chissano සහ අප්‍රිකානු සංවර්ධන බැංකුවේ සභාපති Dr Akinwumi Adesina විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සංවාදයට නායකත්වය දෙනු ලබයි.

ඇතැම් ප්‍රතිසංස්කරණ සඳහා සිම්බාබ්වේ රාජ්‍යය අකමැත්ත පළකිරීම හේතුවෙන් පසුගිය මාසයේදී අමෙරිකාව ඉන් ඉවත් වී තිබේ.

පැරිස් සමාජයට අයත් නොවන මේ වනවිට සිම්බාබ්වේ හි විශාලතම ණය හිමියා වන චීනය, රටේ ණය අර්බුධය විසඳීමට සහාය ලබාදීමට සූදානම් බව පවසයි.

සමහර ඇස්තමේන්තුවලට අනුව සිම්බාබ්වේ රාජ්‍යය චීනයට ගෙවීමට ඇති ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3කි.

කෙසේවෙතත් “සිම්බාබ්වේ ණය ගැටළු විසඳීම සඳහා චීනය විශාල වැදගත්කමක් ලබා දෙයි,” යනුවෙන් සිම්බාබ්වේ හි චීන තානාපති Zhou Ding පවසා ඇත.

“මිත්‍රශීලී උපදේශන හරහා නිසි ප්‍රකාශයන් සකස් කිරීම සඳහා සිම්බාබ්වේ රජය සමඟ සාකච්ඡා වැඩිදියුණු කිරීමට චීනය කැමතිය. එහි නිශ්චිත පියවරක් ලෙස, චීනය 2015 අවසානය වන විට කල් පිරුණු සිම්බාබ්වේ පොලී රහිත ණය අවලංගු කර ඇත.” තානාපතිවරයා පවසා තිබේ.

දශක හතරකට ආසන්න මුගාබේ පාලනය අවසන් වීමෙන් පසු සිම්බාබ්වේ රාජ්‍යයේ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා චීන ණය ලබාදීම වැඩිකර ඇත.

කෙසේවෙතත් කපාහරින ලද ණය ප්‍රමාණය කොපමණ දැයි සිම්බාබ්වේ හි චීන තානාපතිවරයා පවසා නොමැත.