February 11, 2024

චීනය සමග ඇතිකරගෙන තිබෙන යුවාන් බිලියන 10කට එනම් අමෙරිකානු ඩොලර් බිලියන 1.5කට සමාන ද්විපාර්ශ්වික මුදල් හුවමාරුවේ කල් ඉකුත්වන දිනය මෙම වසරේ, මාර්තු 18 වැනි දින වෙනුවට දෙසැම්බර් මස අග ලෙස සැළකීම සඳහා චීන මහජන බැංකුව සමඟ අවබෝධතාවකට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණ කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අන්තර්ජාතික මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය D.S.T.වානගුරු පැවසුවේ swap පහසුකම සඳහා දෙපාර්ශ්වය විසින් අත්සන් කරන ලද 2021 මාර්තු 19 දින වෙනුවට එය ආරම්භ වූ 2021 දෙසැම්බර් මාසයේ සිට තුන් අවුරුදු වලංගු කාලය ලෙස සැළකීමට අවබෝධයක් ඇතිකර ගෙන ඇති බවයි.

ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර ඇති කර ගත් අවබෝධය යටතේ මෙම swap පහසුකම මෙම වසරේ මාර්තු 18 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණද, 2024 දෙසැම්බර් අවසානය දක්වා වලංගු වනු ඇත.

ද්විපාර්ශ්වික මුදල් හුවමාරුව 2024 දෙසැම්බරයෙන් ඔබ්බට දීර්ඝ කිරීමට හෝ අලුත් කිරීමට ඇති හැකියාව පිළිබඳ අදහස් දක්වමින් ආචාර්ය වානගුරු අනාවරණය කළේ ද්විපාර්ශ්වික හුවමාරුව දීර්ඝ කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

“swap පහසුකම දීර්ඝ කිරීමට කටයුතු යොදා තිබෙනවා. එය කිරීමට අපට 2024 දෙසැම්බර් දක්වා කාලය තිබෙනවා,” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

2021 වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත තත්ත්වයෙහි ඛේදනීය තත්ත්වය පිළිබඳ විපක්ෂයේ සහ මහජනතාවගේ දැඩි විවේචන මධ්‍යයේ, ශ්‍රී ලංකාවේ ලේඛනවල සඳහන් විදේශ සංචිත වත්කම්වලට මුක්කු ගැසීමට සමස්ත හුවමාරු පහසුකම අඩු කිරීමට මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පියවර ගත්තේය.

කෙසේවෙතත්, swap පහසුකම යටතේ චීන මහජන බැංකුවෙන් ලබාගත් යුවාන් බිලියන 10ක මුදල අද වන විට ඇතැම් කොන්දේසි හේතුවෙන් භාවිතයට ගත නොහැකිව පවතී.

ඒ අනුව, swap පහසුකම අත්සන් කර වසර තුනකට පසුවත් මෙම swap පහසුකමෙහි උපයෝගීතාව රටේ නිල සංචිත වත්කම්වලට අලංකාරයක් එකතු කිරීමකට සීමා වී තිබේ.

මුල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ සමීක්ෂණ ආයතනයක් වන AidDataට අනුව, ශ්‍රී ලංකාවේ වෙළඳාමට පහසුකම් සැලසීමට සහ විදේශ මුදල් ද්‍රවශීලතාව වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව මුලින් චීන මහජන බැංකුව සමඟ ගිවිසුමකට එළඹී ඇත.

එම හුවමාරු ගිවිසුම 2017 දී දීර්ඝ කර නැත.

අනතුරුව, 2021 මාර්තු 19 වැනි දින, ශ්‍රී ලංකා මහ බැංකුව නැවත වරක් චීන මහජන බැංකුව සමඟ යුවාන් බිලියන 10ක ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹ ඇත.

AidData වාර්තා කරන්නේ 2021 දී ආරම්භ වූ තුන් අවුරුදු යුවාන් බිලියන 10ක හුවමාරු පහසුකම වසරක ආරම්භක කල්පිරීමක් ඇති නමුත්, එම පහසුකමේ වසර තුනක වලංගු කාල සීමාව තුළ පොලී අයකිරීමකින් තොරව ණය කිහිපවතාවක් අලුත්කර ගැනීමේ විකල්පය ශ්‍රී ලංකා මහ බැංකුවට තිබූ බවයි.

ඊට හේතුව හුවමාරු ගිවිසුම යටතේ එය ‘පොරොත්තු ගිවිසුමක්’ ලෙස සළකනු ලැබීමයි.

42.31%
17.27%
32.76%