November 27, 2023

වෙනිසියුලානු තෙල් මත එක්සත් ජනපදය පනවා තිබූ සම්බාධක අත්හිටුවීම එහි විශාලතම ගනුදෙනුකරුවන් වන චීනයේ ස්වාධීන පිරිපහදු කරන්නන් කලබලයට පත් කර ඇත.

එක්සත් ජනපදය විසින් වෙනිසියුලාවට සම්බාධක පැනවීම හේතුවෙන් එරටින් ඉන්ධන මිලදීගත් බහුතරයක් ගැනුම්කරුවන්ට බාධා එල්ලවිය.

එහෙත් එම තත්වය ප්‍රයෝජනයට ගත් චීනය විශාල වට්ටම් යටතේ වැඩි වැඩියෙන් එරටින් ඉන්ධන මිලදී ගත්තේය.

කෙසේවෙතත් දැන් සම්බාධක ඉවත් කිරීම හේතුවෙන් තවදුරටත් වට්ටම් ලබාදීමේ අවශ්‍යතාවක් නොමැති අතර, ගෝලීය බලශක්ති සමාගම් සහ Vitol, Gunvor සහ Trafigura වෙළඳ ආයතන ක්‍රමයෙන් මිලදී ගැනීම් නැවත ආරම්භ කර ඇත.

එනම් අනෙකුත් ගැනුම්කරුවෝ වෙළඳපොල වෙත නැවත පැමිණෙමින් සිටිති.

මෙම තත්වය මත මිලෙහි පුළුල් විෂමතා මධ්‍යයේ චීනය නව මිලදී ගැනීම් නතර කර ඇති බව වෙළඳ ආරංචි මාර්ග පවසයි.

විකුණුම්කරුවන් සහ චීන ගැනුම්කරුවන් දැන් මිල සම්බන්ධයෙන් එකඟවීමට අරගල කරමින් සිටින බව චීනය පදනම් කරගත් මූලාශ්‍ර වසයි.