42.31%
17.27%
32.76%
April 23, 2024

චීන කොමියුනිස්ට් පක්ෂයේ අන්තර්ජාතික කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ඇමැතිවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක හමු වී තිබේ.

අද (23) පෙරවරුවේ මෙම හමුව සිදුව ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදීය.

චීන දූත මණ්ඩලය වෙනුවෙන් මෙම හමුවට චීන කොමියුනිස්ට් පක්ෂයේ අන්තර්ජාතික කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ඇමැති හා එම පක්ෂයේ මධ්‍යම කාරක සභික Sun Haiyan, චීන කොමියුනිස්ට් පක්ෂයේ අන්තර්ජාතික කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Lin Tao, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ කවුන්සලර් Chen Xiangyuan, චීන කොමියුනිස්ට් පක්ෂයේ අන්තර්ජාතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Li Jinyan, නියෝජ්‍ය අධ්‍යක්ෂ Wen Jun නියෝජ්‍ය ඇමැතිවරයාගේ ලේකම් Jin Yan, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයෙ තෙවැනි ලේකම් Jin Enze හා භාෂා පරිවර්තක Zhang Guyu යන පිරිස එක්ව තිබේ.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජාතික විධාය සභිකයන් වන විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, සුනිල් හඳුන්නෙත්ති යන ඊට එක්ව තිබේ.

මෙම හමුවේදී වත්මන් දේශපාලන තත්ත්වය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සහ වර්ධනය විය හැකි දේශපාලන තත්ත්වයන් පිළිබද විශේෂයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවත්වී ඇත.

මැතිවරණයක් සඳහා ජාතික ජන බලවේගයේ සූදානම, ඒ සඳහා අනුගමනය කිරීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග හා උපායමාර්ග පිළිබඳවත් නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් රට ගොඩගැනීම සඳහා මූලිකව දේශපාලන ස්ථාවරත්වයක් රට තුළ ඇති කිරීමේ වැදගත්කමත් ජාතික ජන බලවේගය විසින් පෙන්වා දී ඇත.

ජාතික ජන බලවේගය දේශපාලන ක්ෂේත්‍රය තුළ වේගයෙන් වර්ධනය වෙමින් මහජනතාවගේ ජනප්‍රියත්වය හා ආකර්ෂණය අත්කර ගැනීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්ග සහ සංවිධාන ව්‍යුහයන් පිළිබඳ චීන දූත පිරිසේ අවධානය යොමු වී තිබේ.

විවිධ ජන කණ්ඩායම්, සමාජ ස්ථරයන් හා විදේශගත ලාංකිකයින් සමග පවතින සම්බන්ධතාවයන්, රට ගොඩනැගීමේදී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති, පක්ෂ ව්‍යුහයන් මහජනතාව සමඟ පවතින සංවාදය පිළිබඳ මෙහිදී ජාතික ජන බලවේගයේ නායකයන් විසින් චීන දූත පිරිසට අවධාරණය කර ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂය සමග ඇති අන්‍යෝන්‍ය විශ්වාසය, සමාජ සංස්කෘතික සබඳතා හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ තවදුරටත් වර්ධනය කර ගැනීම හා ආර්ථිකය සංවර්ධනය කිරීමේදී එම සබඳතා යොදාගත හැකි ආකාරය පිළිබඳවත් දෙපාර්ශ්වය අතර වැඩිදුරටත් සාකච්ඡා වී ඇත.

42.31%
17.27%
32.76%