September 7, 2024

කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ දෙක වසර පන්තියට දැරියක ඇතුළත් කිරීමේ කටයුතු සලසා දීමට රුපියල් ලක්ෂ 20ක මුදලක් ඉල්ලා, ඉන් ලක්ෂ හතරක අත්තිකාරම් මුදලක් ලබාගත්තේ යැයි කියන කොළඹ රාජකීය විද්‍යාලයේ මුරකරු ඇතුළු පස්දෙනකු ලබන 20දින දක්වා බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (06) නියෝග කළේය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ, නුගේගොඩ අනුලා දේවි බාලිකා විද්‍යාලයට දැරිය ඇතුළත් කිරීම සඳහා අභියාචනයක් ඉදිරිපත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් අංශයට පැමිණි පැමිණිලිකරුගෙන් මෙම මුදල් ඉල්ලා ලබාගෙන ඇති බවය.

දැරිය අනුලා විද්‍යාලයට නොව සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුලත් කළ හැකි බවත්, ඊට රුපියල් ලක්ෂ 20 මුදලක් වැයවන බවත් පළමු සැකකරු සඳහන් කර, එම අත්තිකාරම් මුදලය ලබාගෙන ඇති බව සඳහන් කළේය.(ලංකාදීප)