April 15, 2025

තෙමහල් නිවසක් තුළ බලහත්කාරයෙන් සිරකර සිටි 12 හැවිරිදි පිරිමි ළමයකු එහි ජනේලයකින් පැනීම නිසා බරපතළ තුවාල සිදුවීමේ සිද්ධියක් පිළිබඳ කෙසෙල්වත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සිදුවීම සිදුව තිබෙන්නේ 2025.04.13 වැනි දින දහවල් කාලයේදීය.

දරුවා කෙසෙල්වත්ත පොලිස් වසමේ පිහිටි සිය නිවස ආසන්නයේ පදිංචි කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ පීර් සයිබු වීදියේ වෙළඳසැලකට පැමිණ ඒ ආසන්නයේ පිහිටි තෙමහල් නිවසක යකඩ ගේට්ටුවට තට්ටුකර ඇත.

ඊට උරණ වූ එම නිවසේ පදිංචිකරු දරුවාව බලහත්කාරයෙන් නිවස තුළට ඔසවාගෙන ගොස් දෙවැනි මහලේ කාමරයකට දමා සිරකර ඇති අතර, බියට පත්වූ දරුවා එම කාමරයේ ජනේලයක් විවෘත කර බිමට පැනීම හේතුවෙන් බරපතල තුවාල ලබා ඇති බව සිදුකරන ලද විමර්ශන මගින් අනාවරණය වී ඇත.

මෙම අපරාධයට ආධාර අනුබල දුන් වයස අවුරුදු 59 ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි සැකකරුවකු කෙසෙල්වත්ත පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රදේශයෙන් පළාගොස් ඇති ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කෙරේ.

දරුවා මේ වන විට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබයි.