July 3, 2024

වකුගඩු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය තෙහැවිරිදි කුඩා පිරිමි දරුවකුගේ ශල්‍යකර්මය සිදුකළ බව කියන, මේ වන විට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින විශේෂඥ වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් සූම් තාක්ෂණය ඔස්සේ ලබාගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (3) නියෝග කළේය.

එම දරුවාගේ ශල්‍යකර්මය සිදුකළ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නවීන් විජේකෝන් මේ වන විට ඕස්ට්‍රේලියාවේ සිටින බවත්, මෙම සිද්ධියට අදාළව සූම් තාක්ෂණය ඔස්සේ ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අවසර ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන කොට්ඨාශය කළ ඉල්ලීමක් සළකා බලමින් අධිකරණය එසේ නියම කළේය.

එම දරුවාගේ මියයෑමට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක්ගෙන් ප්‍රකාශයක් ගන්නා ලෙසද මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශයට නියෝග කළේය.

දරුවාට ප්‍රතිකාර ලබාගෙන ඇති කොළඹ ආසිරි රෝහලේ අධ්‍යක්ෂකවරයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හා එම ප්‍රතිකාර ලබාදීමට අදාළ වාර්තා තම අංශයට භාරදීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙස එම විමර්ශන අංශය කළ ඉල්ලීමටද අධිකරණයේ අවසර හිමිවිය.

එම දරුවාගේ ශල්‍ය කර්මය සිදු කළ විශේෂඥ වෛද්‍යවරයා ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින බවත් දැනට ලැබී තිබෙන සාක්ෂි පදනම් කරගෙන මෙම සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු කිරීමට අධිකරණයට තීරණයක් ගත හැකි බවට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේත්‍රාත්වරයා එම සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කිරීම සඳහා දරුවාගේ ශල්‍යකර්මය සිදු කළ විශේෂඥ වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබාගත යුතු ඇති බැවින් ජනාධිපති නීතිඥවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණේ.

කොටහේන ප්‍රදේශයේ පදිංචි අම්දි පස්ලිම් නමැති තෙහැවිරිදි කුඩා පිරිමි දරුවෙකු මියයා මේ සිද්ධියට අදාළ නඩුව ඊයේ අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එසේ නියෝග කෙරුණි

එම දරුවාගේ වම් වකුගඩුවේ ඇති වූ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඔහුව රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් එහිදී සිදුකළ ශල්‍යකර්මයකදී දරුවාගේ සාමාන්‍ය තත්ත්වයේ තිබූ දකුණු වකුගඩුවටද හානි සිදුවීමෙන් මෙම මියයාම සිදුව ඇති බව පවසමින් මියගිය දරුවාගේ මව්පියන් බොරැල්ල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව එම විමර්ශන ආරම්භ කෙරුණි

පසුව පැමිණිල්ලේ ඉල්ලීම මත එම සිද්ධියේ ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශය වෙත භාර කෙරුණි.

42.31%
17.27%
32.76%