May 8, 2024

හත් හැවිරිදි දැරියක් වසර කිහිපයක් තිස්සේ බරපතළ අපයෝජනයට ලක්කළ අයකුට වසර විස්සක බරපතළ සිර දඬුවම් නියම කළ අතර වින්දිත දැරියට රුපියල් ලක්ෂ දහයක වන්දියක් ගෙවන ලෙසත්, බළපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක ඊයේ (07දා) නියම කළේය.

මෙසේ දඬුවම් ලැබුවේ ඌරගස්මංහන්දිය කුඩා ඌරගහ දැල්කඩ පදිංචි තොම්මයා හකුරු සමන් කුමාර වික්‍රමසිංහ නමැත්තෙකි.

2009 වසරේ සිට 2011 වසර කාලය දක්වා වරින්වර ඔහු මෙම දැරිය බරපතළ ලෙස අපයෝජනය කර ඇත.

දැරියගේ මව විදේශගතව සිටි හෙයින් පියා භාරයේ සිටි දැරිය වයස අවුරුදු දහහතරේදී ද පාසලේ විද්‍යා පාඩම උගන්වද්දී ප්‍රජනනය ගැන කියාදීමෙන් පසු මේ නිසා ගැබ් ගැනීමක් ඇතිවේ යැයි බියට පත් දැරිය පාසල අවසන්වී ගෙදර ආ විගස තමාට කළ අපරාධය ගැන පියාට දැනුම් දී තිබේ.

පියා පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු චූදිතයා අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබේ.

ඒ වන විට චූදිතයා වයස අවුරුදු තිහේ පසු වී ඇත.

දීර්ඝ නඩු විභාගයකින් පසු චෝදනාවලට වැරදිකරු වූ හෙයින් වසර විස්සක සිර දඬුවමක්ද, වින්දිත දැරියට රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලක් සහ රුපියල් විසි පන්දහසක දඩ මුදලක්ද ගෙවන ලෙසද නියම කළේය.

වන්දි මුදල නොගෙවන්නේ නම් වසර දෙකක ලිහිල් සිරදඬුවමක්ද නියම කළේය. (මව්බිම)

42.31%
17.27%
32.76%