July 3, 2024

තමන්ට ඕනෑ ආකාරයට නීතිය නැවීමට හෝ වංගු දැමීමට නීතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරීන්ට හැකියාවක් නැතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (02) පැවැසීය.

මත්දුව්‍ය කිලෝ 200කට අධික ප්‍රමාණයක් ආනයනය හා ජාවාරම් කිරීම් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කරන විමර්ශන විනිවිදභාවයෙන් තොර බවට සාධාරණ සැකයක් මතුව ඇතැයි පෙන්වා දෙමින් එසේ කී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා පූර්ණ වාර්තාවක් වහාම අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට නියම කළේය.

ගාල්ලට ඈත මුහුදේ දී මත්ද්‍රව්‍ය කිලෝ 200ට අධික ප්‍රමාණයක් සමග පසුගිය ජුනි 15 වැනිදා අත්අඩංගුවට ගත් ධීවරයන් 06 දෙනකුට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී ඉදිරිපත් වූ කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනකු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගනිමින් සැකකරුවන් ලබන 16 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය නායක කාර්යාංශය විශේෂ මෝසමක් මගින් මෙම නඩුව කැඳ වූ අවස්ථාවේ දී නඩුව කැඳවීමට නියමිතව තිබූ පෙරේද (01) නඩුව නොකැඳවා ඊයේ කැඳවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ඩී. ජයරත්න අධිකරණයට කැඳවනු ලැබීය.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේ දී ඔහු ඇමතූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය පෙරේදා (01) වාර්තා කිරිමට කටයුතු නොකළේ මන්දැයි විමසා සිටියේය.

ඊට පිළිතුරු දුන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරය, මේ සම්බන්ධයෙන් කටයුතු කරන විමර්ශන නිලධාරින් සැකකරුවන් හා මත්ද්‍රව්‍ය එකවර අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම නිසා නියමිත දිනයේ කරුණු වාර්තා කිරීමට නොහැකි වූයේ යැයි කීය.

ඒ අවස්ථාවේ දී පොලිසියට තරයේ අවවාද කරමින් අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරයා අඩුම තරමින් පොලිස් නිලධාරියකු හෝ පෙනීනොසිටි බවත් මත්ද්‍රව්‍ය කිලෝ දෙසීයකට අධික ප්‍රමාණයක් ජාවාරම් කිරීමට ආනයනය කිරීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ පොලිස් නිලධාරියකු හෝ පෙනීනොසිට පසුදින මෝෂන් දැමීම පිළිබඳ අධිකරණයේ නොසතුට පළකළේය.

මෙවැනි දේ සම්බන්ධයෙන් මින් පසු අවවාද නොකරන බවත් කෙළින්ම පොලිස්පතිවරයාට පැමිණිලි කරන බවත් දැනුම් දුන්නේය.

ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා, සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනකු අධිකරණයට ඉදිරිපත් කරමින් ඔවුන් රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර වාර්තා කැඳවීමට නියම කරන ලෙසත් ඉල්ලා සිටියේය.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අචිනි උමංගනා කරුණු දක්වමින් තම සේවාදායකයන් පසුගිය 15 වැනිදා අත්අඩංගුවට ගත් බව පොලිසිය කීවත් ඔවුන් අත්අඩංගුවට ගත් බවට 14 වැනිදා ප්‍රධාන මාධ්‍යවල කරුණු වාර්තා වන්නේ යැයිද කීවාය.

බෝට්ටුවේ සඟවා තිබිය දී මත්ද්‍රව්‍ය සොයා ගත් බව පොලිසිය කීවත් පොලිසිය අල්ලාගත් කුඩු ප්‍රමාණය කොපමණද කියා නිවැරදිව මාධ්‍යවල පළවන බවත් කරුණු සහිතව පෙන්වාදුන් නීතිඥ අචිනි උමංගනා පොලිසිය තම සේවාදායකයන්ට මෙම මත්ද්‍රව්‍ය තොගය හඳුන්වා දී ඇතැයි ද කීවාය.

කුඩු තිබු බව කියන බෝට්ටුවේ හිමිකරු මත්ද්‍රව්‍ය කාර්යාංශයට ගෙන්වා ප්‍රකාශ සටහන් කරගෙන මුදාහළ ඔහු යළි හෙට දිනයේ කාර්යාංශයට කැඳවා ඇතැයි ද මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති ඔහුගේ වෑන් රථය ද පොලිස් බාරයටට ගෙන ඇතැයි නීතිඥ අචිනි උමංගනා වැඩිදුරටත් කීවාය.

ඒ අවස්ථාවේ දී ප්‍රකාශ සටහන් කරගත් පොලිස් නිලධාරියා අධිකරණයට කැඳවූ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ අරගෙන බෝට්ටුවේ හිමිකරු මුදා හැරියේ ඇයි? බෝට්ටුවේ හිමිකරුගෙන් ගත් ප්‍රකාශය සාක්ෂි සම්පීඩනයක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවාද? යනුවෙන් විමසීය.

සාක්ෂි සම්පීඩනයේ එවැනි ප්‍රකාශයක් නැතැයි පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා අධිකරණය අමතමින් “සැකකාරයන්ට එන්න කියනවා ප්‍රකාශයක් ගන්නවා. ටිකක් බය කරනවා. යන්න කියනවා. ආපහු එන්න කියනවා. පොලිසිය එහෙම වැඩ තියාගන්න එපා. මේක අවවාද කරන අවසන් වතාව. මේවා අයථා පෙළැඹවීම් වෙන්න පුළුවන්. විමර්ශනවල විනිවිද භාවයක් තියෙන්න ඕනෑ. තමන්ට ඕන විදිහට නීතිය නමන්න බෑ. සැකකරුවෙක් නම් වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න ඕනෑ ’ යැයි කීය.

සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණයට වාර්තා කිරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියේ සැකකරුවන් රිමාන්ඩ් බාරයට පත්කළේය.(ලංකාදීප)

42.31%
17.27%
32.76%