May 1, 2024

කුකුළු පොරයක් බේරීමට යෑමේදී සැමියා හා බිරිඳ එකිනෙක ගැටී බිරිඳ ඇද වැටීමෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව රෝහලේ දී පැවති හදිසි මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය.

මෙලෙස මියගොස් ඇත්තේ ඇල්පිටිය, කහදුව ප්‍ර දේශයේ පදිංචි ලේල්වල රඳාගේ ලලිතා (57) නමැති සිව්දරු මවකි.

මියගිය තැනැත්තියගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරණු ලැබීය.

මියගිය තැනැත්තියගේ සැමියා වන ලක්ෂ්මන් අබේරත්න (58) නැමැත්තා මරණ පරීක්ෂණයේ දී සාක්ෂි ලබාදෙමින් මෙසේ කිවේය.

“මියගොස් සිටින්නේ මගේ බිරිඳයි. අපිට දරුවන් සිව්දෙනකු සිටිනවා. බිරිඳ රැකියාවක් කළේ නැහැ. තේ දලු කැඩීම වගේ වැඩ කළා. පුතාගේ නිවසේ කුකුළු කොටුවක් තියෙනවා. කුකුළු කොටුවේ කුකුළුන් නිතරම රණ්ඩු වෙනවා. මම නිවසේ සිටිනවිට කුකුළුන් දෙදෙනකු පොරකනවා දැක්කා. කුකුළුන් දෙදෙනා බේරාගැනීම සඳහා මම නිවසේ සිට දිවගෙන එළියට ආවා. බිරිඳ එළියේ සිට නිවස ඇතුළට එන්න ආවා. බිරිඳ මගේ ඇඟේ හැප්පිලා වැටුණා. ඇයට රෝහලට රැගෙන ගියා. ඇයට සිහිය නැතිවුණා. හිසෙන් රුධිරය වහනය වුණා. බිරිඳගේ හිසට සැත්කමක් කළා. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී බිරිඳ මියගියා”

පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර විසින් සිදුකළ අතර ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැළකිල්ලට ගත් මරණ පරීක්ෂකවරයා ඇද වැටීමෙන් මොළයට රුධිරය වහනය වීමෙන් මරණය වී ඇති බවට තින්දු කළේය.(දිවයින)

42.31%
17.27%
32.76%