April 10, 2025

දශක කිහිපයකට පෙර, මගීන්ට චෙන්නායි සිට කොළඹට දුම්රියෙන් සහ පාරුවලින් ගමන් කළ හැකියාව තිබූ අතර එම ගමන ඔස්සේ එග්මෝර් දුම්රිය ස්ථානයෙන් ආරම්භ වී නැගෙනහිර වෙරළ තීරය දිගේ ගමන් කරමින්, පම්බන් පාලම හරහා රාමේෂ්වරම් වෙත ළඟාවීමට හැකියාව තිබිණි.

එතැන් සිට ඉන්දියාවේ දකුණු දිගම දුම්රිය ස්ථානය වන ධනුෂ්කොඩි දක්වා දුම්රිය ධාවනය විය.

පෝක් සමුද්‍ර සන්ධිය හරහා කෙටි පාරු ගමනකින් තලෙයිමන්නාරම වෙත සංචාරකයන් රැගෙන ගිය අතර එහිදී ඔවුන්ට කොළඹට දුම්රියකට නැගීමට හැකිවිය.

1964 දී ප්‍රබල සුළි කුණාටුවකින් වෙරළබඩ තමිල්නාඩුව විනාශ වූ විට මෙම ගමනාගමන සේවා සඳහා බාධා එල්ලවිය.

කුණාටුවෙන් පම්බන් පාලමට හානි වූ අතර රාමේෂ්වරම් සහ ධනුෂ්කොඩි අතර දුම්රිය මාර්ගයද විනාශ විය.

එතැන් පටන් බාධා එල්ල වූ එම ගමනාගමන සේවාව, වසර හැටකට පසු නව පාලමකින් එම අහිමි වූ සම්බන්ධතාවට ජීවය ලබා දීමට සූදානම් වේ.

ඒ අනුව, ඉකුත් අප්‍රේල් 6 වැනි දින ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් වසර 110 ක් පැරණි ව්‍යුහය ප්‍රතිස්ථාපනය කරමින් අලුතින් ඉදිකරන ලද පම්බන් පාලම විවෘත කළේය.

එමගින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු දුම්රිය සම්බන්ධතාවයක් සඳහා වන විශාල සැලැස්මක් සඳහා වූ බලාපොරොත්තු නැවත පණගන්වා තිබේ.

මෙය අදහස අලුත් දෙයක් නොවන අතර බ්‍රිතාන්‍ය පාලන සමයේදී, භාණ්ඩ හා මිනිසුන් කාර්යක්ෂමව ප්‍රවාහනය කිරීමේ පුළුල් සැලැස්මක කොටසක් ලෙස, දුම්රිය මාර්ගයෙන් රටවල් දෙක සම්බන්ධ කිරීමට යෝජනාවක් ඉදිරිපත් විය.

1914 දී දකුණු ඉන්දීය දුම්රිය මගින් ධනුෂ්කොඩි වෙත දුම්රිය ළඟාවීමට හැකි වන පරිදි පම්බන් පාලම ඉදිකරන ලදී.

එහෙත් ධනුෂ්කොඩි තලෙයිමන්නාරමට සම්බන්ධ කිරීමේ අවසාන කොටස මූල්‍යමය බාධාවන් සහ පසුව පළමු ලෝක යුද්ධය වැනි ගෝලීය සිදුවීම් හේතුවෙන් සම්පූර්ණ කිරීමට නොහැකිවිය.

1964 දී බලපෑ සුළි කුණාටුව තෙක්, ‘ඉන්දු-සිලෝන් බෝට් මේල්’ නමින් ජනප්‍රිය සේවාවක් මගින් මගීන්ට චෙන්නායි සිට කොළඹ දක්වා දුම්රිය සහ තොටුපළ ඒකාබද්ධව ගමන් කිරීමට ඉඩසලසා තිබිණි.

කෙසේවෙතත් මෑතකාලීනව මෙම දිගුකාලීන අදහස පිළිබඳ සාකච්ඡා නැවත මතු වී තිබේ.

ඉන්දියාව ධනුෂ්කොඩි සිට තලෙයිමන්නාරම දක්වා කිලෝමීටර් 25ක් දුරින් පෝක් සමුද්‍ර සන්ධිය හරහා මාර්ග සහ දුම්රිය පාලමක් හෝ මුහුද යට උමං මාර්ගයක් ගැන සලකා බලමින් සිටින අතර බහු ශක්යතා අධ්‍යනයන් ද සිදුකර ඇත.

නව පම්බන් පාලමේ සාර්ථකත්වය දුම්රිය මාර්ගය තවදුරටත් දිගුකිරීමට පියවරක් විය හැකිය.

2002 දී ශ්‍රී ලංකාව රාමේෂ්වරම් සහ තලෙයිමන්නාරම යාකරමින් මාර්ග සහ දුම්රිය පාලමක් යෝජනා කර තිබිණි.

එහෙත් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ගැටළු මතුකළ තමිල්නාඩුවේ එවක ප්‍රධාන අමාත්‍ය ජේ. ජයලලිතාගේ ඊට විරෝධය දැක්වීම හේතුවෙන් එම සැලසුම අත්හැර දැමීමට සිදුවිය.

මේ වනවිට තමිල්නාඩුවේ දේශපාලන වාතාවරණය වෙනස් වී ඇතත්, ආරක්ෂාව සහ පිරිවැය පිළිබඳ ගැටළු පවතී.

2015 දී ඉන්දියාවේ මධ්‍යම රජයේ අමාත්‍ය නිතින් ගඩ්කාරි විසින් මෙම ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුව වෙත යොමුකළ අතර එම බැංකුව අරමුදල් සැපයීමට එකඟ විය.

එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන අමාත්‍යවරයා පසුව එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය.