June 23, 2023

ඇමෙරිකාවේ නිදහස ප්‍රකාශයට පත් කිරීමේ 247 වැනි සංවත්සරය සහ එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් අතර ශක්තිමත් හා කල්පවත්නා සම්බන්ධතාවයෙහි 75 වැනි සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චංග් ජූනි 22 වැනි දා කොළඹ දී උත්සවයක් පැවැත්වූවාය.

විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි ප්‍රධාන අමුත්තා වශයෙන් එම අවස්ථාවට සහභාගි වූයේය.

“නිදහස, ස්වාධීනතාවය සහ සන්තුෂ්ටිය සොයා යෑම හරහා රටක් සංවර්ධනය කරන ගතිකත්වය සහ ව්‍යවසායකත්වය ද එය ආරක්ෂා කරදෙන දේශපාලන සහ සමාජ ස්ථාවරත්වය ද පැන නගින බව අපි තදින් ම විශ්වාස කරනවා. එය එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව මෙන්ම තවත් රටවල් සම්බන්ධයෙන් සැබෑවක් වනවා,” යනුවෙන් එම අවස්ථාවේ දී තානාපතිවරිය පැවසුවාය.

“කාලයත් සමගින් නොසැලී වර්ධනය වූ අපගේ හමුදාවන් අතර සම්බන්ධතාවය තුළ ද්වීපාර්ශවීය පුහුණු, අභ්‍යාස, සහ තාක්ෂණික හුවමාරු කෙරෙහි අවධානය යොමුකරන අතර විවෘත, නිදහස් සහ සාමකාමී ඉන්දු-ශාන්තිකර කලාපයක් සහතික කිරීම සඳහා දායක විය හැකි ඔරොත්තු දෙනසුළු බලකායක් නිර්මාණය කිරීම සඳහා එය උපකාරී වනු ඇත. ස්වේච්ඡා සේවකයින් 500කට වැඩි පිරිසකට තම ජීවිත කාලයෙන් දෙවසරක් හෝ වැඩි කාලයක් කැප කරමින් ශ්‍රී ලාංකික ප්‍රජාවන්ගේ හැකියාවන් වර්ධනය කිරීමට සහ ජීවිත කාලයක් පවතින සම්බන්ධතා ගොඩනංවාගැනීමට මග පාදා ඇති සාම බලකාය 1962 පටන් දෙරට අතරේ පුළුල් සංස්කෘතික හුවමාරුවක් සඳහා උපකාරී වී තිබේ” යැයි තානාපතිවරිය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.