42.31%
17.27%
32.76%
October 2, 2024

හිටපු ජනාධිපතිවරුන් ලෙස තමන්ට ලබාදී ඇති වරප්‍රසාද අහෝසි කිරීම හෝ කප්පාදු කිරීම සම්බන්ධයෙන් කිසිදු කණගාටුවක් නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරති.

ජාතික ජන බලවේගය සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති නිල නිවාස, වාහන, දීමනා, ආරක්ෂක විධිවිධාන වැනි වරප්‍රසාද කප්පාදු කිරීම ඇතුළු පොරොන්දු කිහිපයක් ලබාදුන්නේය.

මේ සම්බන්ධයෙන් ‘ඩේලි මෝනිං’ කළ විමසීමකදී චන්ද්‍රිකා කුමාරතුංග පවසා ඇත්තේ, සෙසු හිටපු ජනාධිපතිවරුන්ට සාපේක්ෂව තමාට වැඩි වරප්‍රසාද නොලැබෙන බවයි.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මට රජයෙන් විශ්‍රාම වැටුපක්වත් දුන්නේ නැහැ. 2015 එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව බලයට පත්වන විට ඔවුන් දැන සිටියා මට විශ්‍රාම වැටුපක් නොදුන් බව. ඒ නිසා මට රුපියල් 94,000 ක මාසික විශ්‍රාම වැටුපක් ලබාදුන්නා, මම එය එය පුණ්‍ය කටයුතු සඳහා භාවිතා කරනවා.” යැයි ඇය පවසයි.

තමාට රජයෙන් නිල නිවසක් සහ වාහන හතරක් ද ලබා දී ඇති බව සඳහන් කළ ඇය පවසන්නේ, තම පෞද්ගලික මුදලින් මිලියන ගණනක් එම නිල නිවස අලුත්වැඩියා කිරීමට වියදම් කළ බවයි.

“මගේ කාර්ය මණ්ඩලයේ වැටුප්, ජල බිල්පත්, විදුලි බිල්පත් ගෙවන්නේ මමයි. මගේ ඉඩම් විකුණා උපයාගත් මිලියන ගණන් වියදම් කර නිල නිවස අලුත්වැඩියා කර තිබෙනවා. ඊට අමතරව මට වාහන හතරක් දී තිබෙනවා. ඉන් දෙකක් මගේ ප්‍රයෝජනයටත් දෙකක් ආරක්ෂක නිලධාරින් සඳහාත් භාවිත කරනවා. රජයට අවශ්‍ය නම්, ඔවුන් ඒවා නැවත රැගෙන ගියාට මට කමක් නැහැ.” චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රකාශ කර ඇත්තේ, 2020 වසරේදී රජය විසින් ලබාදුන් වාහන හතක් ආපසු ලබාදුන්නේ එවකට පැවති ආර්ථික තත්ත්වය සැළකිල්ලට ගනිමින් බවයි.

මේ අතර, ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මෛත්‍රිපාල සිරිසේන කියාසිටියේ හිටපු ජනාධිපතිවරයකු ලෙස රජය තමන්ට ලබා දී ඇති කිසිදු වරප්‍රසාදයක් කප්පාදු කිරීම සම්බන්ධයෙන් තමා කණගාටු නොවන බවයි.

“ආරක්ෂක නිලධාරීන් මගේ පස්සෙන් එනකොට මම කොහොමත් කැමති නෑ. ඒ අයම තමයි කියන්නේ ආවෙ නැත්තම් එයාලට ප්‍රශ්නයක් කියලා. මට විස්වාසයි මට එහෙම හානියක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් නෑ කියලා. මම කාටවත් වරදක් කරලා නැහැ, ආරක්ෂාව සහ වෙනත් වරප්‍රසාද කප්පාදු කළාට මට කමක් නැහැ.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

හිටපු ජානධිපතිවරුන් සඳහා වන ප්‍රතිලාභ තීරණය වන්නේ 1986 අංක 4 දරන ජනාධිපති හිමිකම් පනතේ විධිවිධාන අනුව ය.

42.31%
17.27%
32.76%