June 3, 2024

සුදුසු කම් ලබා තිබුණු රෝහල් අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනෙකුට පත්වීම් ලේඛනයේ නම සඳහන් නොකොට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රෝහල් අධ්‍යක්ෂකවරුන් පත් කිරීමේ ලේඛනයක් ප්‍රකාශයට පත් කිරීමට එරෙහිව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී තිබේ.

අදාළ පැමිණිලි ඉදිරිපත්කර ඇත්තේ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සහ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර විසිනි.

නව රෝහල් අධ්‍යක්ෂකවරුන් පත්කිරීමේ සම්මුඛ පරීක්ෂණයට කැඳවා තිබූ තමන් ඇතුළු සුදුසු කම් ලබා තිබුණු රෝහල් අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනෙකුට පත්වීම් ලේඛනයේ නම සඳහන් නොකොට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රෝහල් අධ්‍යක්ෂකවරුන් පත් කිරීමේ ලේඛනයක් ප්‍රකාශයට පත්කර ඇති බව පැමිණිල්ලෙන් පෙන්වාදී ඇත.

ඒ අනුව සිදුවී ඇති අසාධාරණය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කොට තමන්ට සාධාරණයක් ඉෂ්ට කරන ලෙස ඔවුන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.

සාමාන්‍යයෙන් සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීම සිදුකළ පසුව සම්මුඛ පරීක්ෂණය ලබාගන්නා ලකුණු මත රෝහල් අධ්‍යක්ෂකවරුන් පත් කිරීම සිදු කරන බවත් එහිදී අදාළ රෝහල් අධ්‍යක්ෂකවරුන් සම්බන්ධව යම් විමර්ශනයක් පවතින්නේ නම් ඔවුන් ලබාගත් ලකුණු සහ ලකුණු අනුපිළිවෙල ප්‍රකාශයට පත්කොට ඔවුන්ට පත්වීම් ලබාදීම පමණක් තාවකාලිකව ප්‍රමාද කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය බව පැවසේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් එම ක්‍රමය යටතේ රෝහල් අධ්‍යක්ෂ හා වෛද්‍යවරුන්ගේ පත්වීම් ලබාදීම සිදුකළද ඉතිහාසයේ පළමුවරට මෙම ක්‍රමය වෙනස් කරමින් පළමු සම්මුඛ පරීක්ෂණවලින් ඉහළම සුදුසුකම් ලබන ලද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඇතුළු වෛද්‍යවරුන් කීපදෙනකුගේ නම් ඉවත්කොට ඔවුන්ට වඩා සුදුසුකම් අඩුවෙන් පැවති වෛද්‍යවරුන්ගේ නම් ඇතුළත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පාලිත මහීපාල විසින් 01/06/2024 දින පත්තිම් ලිපි නිකුත් කොට ඇති බව වාර්තා වේ.

මේ අනුව තමන් සම්මුඛ පරීක්ෂණය වෙත කැඳවීමත් සම්මුඛ පරීක්ෂණය සුදුසුකම් ලබා තිබියදී සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රමය අනුගමනය නොකොට වෙනස් ලෙසට සළකමින් සුදුසුකම් අනුපිළිවෙල මත පත්වීම් ලේඛනය ප්‍රකාශයට පත් නොකිරීම හිතාමතා සිදුකළ පෞද්ගලික පළිගැනීමක් වන බැවින් වහාම මේ සම්බන්ධ විමර්ශනයක් පවත්වා නීතිමය පියවර ලබාගන්නා ලෙස ඔවුන් රාජ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇති අතර මේ සම්බන්ධව අධිකරණය ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කර ඇත.

42.31%
17.27%
32.76%